
තම රටේ මිසයිලවලට දැන් කිලෝමීටර 4,500ක් දුරට ළඟා විය හැකි බවත්, එය මීට පෙර ප්‍රකාශ කළ දුර ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි බවටත් පවසමින් ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටුවේ සාමාජිකයෙකු විසින් යුරෝපයට තර්ජනයක් එල්ල කර තිබේ.
අද (23) දින මෙම තර්ජනය සිදුකර තිබුණේ, පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති කමිටුවේ සාමාජික 'අහමඩ් බක්ෂායේෂ් අර්ඩෙස්තානි' (Ahmad Bakhshayesh Ardestani) විසිනි.
ඉරානයේ මිසයිල පරාසය කිලෝමීටර 2,000 සිට 4,500 දක්වා වැඩි කර ඇති බවත්, ඒ අනුව යුරෝපීය හමුදා කඳවුරු සිය ප්‍රහාරක සීමාව තුළට පැමිණ ඇති බවත් ඔහු සඳහන් කර තිබුණි.
"අපගේ මිසයිල පරාසය කිලෝමීටර් 2,000 සිට කිලෝමීටර් 4,500 දක්වා වැඩි වී තිබෙනවා. මිසයිල නිවැරදිව සහ ඉලක්කයටම (pinpoint strikes) පහර දිය හැකි ආකාරයට සකස් කරන ලෙස අපගේ තරුණ නායකයා පවසා තිබෙනවා. ඒ කියන්නේ යුරෝපය දැන් අපේ ග්‍රහණයේ පවතින බවයි" යනුවෙන් බක්ෂායේෂ් අර්ඩෙස්තානි පවසා තිබේ.
කෙසේ නමුත්, කිලෝමීටර 4,500ක පරාසය පිළිබඳව ඔහු එහිදී කිසිදු ස්වාධීන තාක්ෂණික සාක්ෂියක් ඉදිරිපත් කර නොතිබුණි.
එමෙන්ම ඔහු කටාර් රාජ්‍යය ද විවේචනයට ලක් කරමින්, මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට උත්සාහ කරන අතරතුර ඉරානය හෙළා දැකීම නිසා කටාර් රාජ්‍යයට තවදුරටත් ඵලදායී මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කළ නොහැකි බව පෙන්වා දී තිබේ.
ඉරානය මීට පෙර ප්‍රකාශයට පත් කර තිබූ කිලෝමීටර 2,000ක පමණ මිසයිල පරාසය තුළ ද දකුණු සහ ගිනිකොනදිග යුරෝපයේ ඇතැම් ප්‍රදේශ දැනටමත් ඇතුළත්ව තිබුණි.
ටෙහෙරානයට අයත් පුවත්පතක් (Hamshahri) මෙම පුවත වාර්තා කර තිබුණේ, “සමස්ත යුරෝපයම ඉරානයේ ප්‍රහාරක සීමාව තුළ” යන සිරස්තලය යටතේයි.
“බැලස්ටික් මිසයිලවල පරාසය කිලෝමීටර 5,000ක් පමණ දක්වා වැඩි කිරීම බටහිර රටවල් අතර කනස්සල්ලට හේතු වී තිබේ” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන්.
විප්ලවීය ආරක්ෂක බලකායට අනුබද්ධ ප්රවෘත්ති ඒජන්සියක් වන 'තස්නිම්' (Tasnim) පුවත් සේවයට අනුව, පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති කමිටුවේ සභාපති ඊබ්‍රාහිම් අසීසි (Ebrahim Azizi) සඳහන් කරන්නේ 'රටට පහර දීම ගැන සතුරන්ට පසුතැවීමට සැලැස්වීමේ හැකියාව ඉරාන සන්නද්ධ හමුදාවන් විසින් වර්ධනය කර ඇති බවත් ඔවුන් ඉහළ ම සූදානමකින්' පසුවන බවත් ය.
| දිගු දුර මිසයිල නිපදවීමට කමේනි නියෝග කරයි
ඇමරිකානු මෙහෙයුම් වඩාත් දුරස්ථ කඳවුරු වෙත මාරු වීමේ හැකියාවට ප්‍රතිචාර වශයෙන් මිසයිල පරාසය වැඩි කරන ලෙස මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) සන්නද්ධ හමුදාවන්ට නියෝග කර ඇති බව 'බසීජ්' (Basij) සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානී කාසෙම් කොරෙයිෂි (Qassem Qoreishi) ඉකුත් නොවැම්බර් 18 වැනිදා පවසා තිබුණි.
ඊට පසු දින කොරෙයිෂි සඳහන් කර තිබුණේ, මිසයිලවල නිරවද්‍යතාවය තවදුරටත් වැඩි කරන ලෙස ද කමේනි ඉල්ලා ඇති බවයි.
භූගෝලීය සීමාවන්ගෙන් තොරව ප්‍රතිචාර දැක්වීමට නායකයා කළ ඉල්ලීම මිසයිල පරාසය පිළිබඳ සීමාවන් ඉවත් කිරීමක් ලෙස කමේනිගේ උපදේශකයෙකු වන මොහොමඩ් මොක්බර් ද (Mohammad Mokhber) මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
දිගු දුර මිසයිල නිපදවා හෝ ස්ථානගත කර ඇත්දැයි නිශ්චිතව සඳහන් නොකරමින්, ඉරානය විසින් ම පනවාගෙන තිබූ කිලෝමීටර 2,000 සීමාව ඉවත් කර ඇති බව විප්ලවීය ආරක්ෂක බලකාය පසුව නිවේදනය කර තිබේ.
| මිසයිල හැකියාවන් පිළිබඳව මතුවන ප්‍රශ්න
ඉන්දියන් සාගරයේ ඩියාගෝ ගාර්ෂියා (Diego Garcia) හි පිහිටි ඒකාබද්ධ ඇමරිකානු-බ්‍රිතාන්‍ය කඳවුරට මීට පෙර විප්ලවීය ආරක්ෂක බලකාය එල්ල කළ ප්‍රහාරයකට මිසයිල දෙකක් සම්බන්ධ වූ නමුත් ඉන් එකක්වත් ඉලක්කයට ළඟා නොවීය.
එකක් අතරමගදී විනාශ කරන ලද අතර අනෙක පියාසර කරමින් තිබියදී අසාර්ථක විය.
ඊශ්‍රායල නිලධාරීන් ඇස්තමේන්තු කළේ ඒවායේ පරාසය කිලෝමීටර 4,000ක් පමණ වන බවයි.
එම අසාර්ථක ප්‍රහාරය මගින් එවැනි දුරකට නිරන්තරයෙන් නිවැරදි ප්‍රහාර එල්ල කළ හැකි මිසයිල ඉරානය සතුව ඇති බව තහවුරු නොවීය.
මිසයිල පහසුකම්වලට සිදු වූ හානි සහ විදේශීය උපාංග ලබා ගැනීමේ දුෂ්කරතා නිෂ්පාදනයට තවදුරටත් බාධා එල්ල කර ඇති අතර, ඉරානය විසින් ප්‍රකාශ කරන ලද දිගු දුර හැකියාවන් විශ්වාසදායක ලෙස යෙදවිය හැකිද යන්න පිළිබඳව මේ වන විට ගැටළු මතුකර තිබේ.