
ඉන්දුනීසියාවේ බන්ටෙන් (Banten) පළාතේ පිහිටි රසකැවිලි නිෂ්පාදන කම්හලක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 36 දෙනෙකු අතුරුදන්ව සිටින බව වාර්තා වේ.
ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා නගරයට මායිම්ව පිහිටි බන්ටෙන් පළාතේ ෆොනුසා අගුං මුලියා (Fonusa Agung Mulia) නමැති මෙම කම්හල ගින්නට ගොදුරුවි තිබේ.
ගින්න හටගන්නා අවස්ථාවේදී කම්හල තුළ සේවකයන් 300 දෙනෙකු පමණ සිටි බව සමාගමේ නියෝජිතයෙකු සඳහන් කර ඇත.
මුලදී සේවකයන් 54 දෙනෙකු අතුරුදන්ව සිටි බවට වාර්තා වූ නමුත්, ඉන් 15 දෙනෙකු පසුව බේරාගැනීමට සහන සේවකයන් සමත්ව තිබේ.
මුදාගත් පිරිසෙන් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව ඉන්දුනීසියානු ජාතික සෙවීම් හා මුදාගැනීමේ ඒජන්සිය නිවේදනය කර ඇත.
ගින්න හටගෙන පැය 12කට වැඩි කාලයක් ගතවී තිබුණද කම්හලේ ස්ථාන කිහිපයක තවදුරටත් ගිනිදැල් පැතිරෙමින් පැවති බව සහන මෙහෙයුම් නිලධාරී රිස්කි ඩ්වියාන්ටෝ ප්‍රකාශ කරයි.
ගින්න මැඩපැවැත්වීම සහ ගිනි නිවීමෙන් අනතුරුව ඇතිවන උණුසුම පාලනය කිරීම සඳහා ගිනි නිවන කණ්ඩායම් අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව ද ඔහු සඳහන් කරයි.
බන්ටෙන් පළාතේ සහ සෙරං දිස්ත්‍රික්කයේ ගිනි නිවන ඒකකවල නිලධාරීන් ගින්න පාලනය කිරීම සඳහා එක්ව සිටි අතර, සහන සේවකයන්, ගිනි නිවන නිලධාරීන් සහ ඉන්දුනීසියානු රතු කුරුස සංවිධානයේ සාමාජිකයන් එක්ව කම්හලේ විවිධ ස්ථානවල සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
විශේෂයෙන්ම ගොඩනැගිල්ල තුළ සිරවී සිටිය හැකි පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදුකරන බව බලධාරීහු පවසති.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
ගින්න හටගැනීමෙන් පසු කම්හලේ සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන් රැසක් එම ස්ථානයට පැමිණ සිය ඥාතීන් පිළිබඳ තොරතුරු අපේක්ෂාවෙන් රැඳී සිටින අයුරු දේශීය මාධ්‍ය ඔස්සේ විකාශය කර තිබේ.
මෙම කම්හලේ 'මිල්කිටා' (Milkita) නමින් හඳුන්වන කිරි ආශ්රිත කෙටි ආහාර සහ රසකැවිලි නිෂ්පාදනය කරනු ලබයි.
ඉන්දුනීසියාව තුළ මෑත වසර කිහිපයේදී ද මෙවැනි මාරාන්තික ගිනිගැනීම් සහ අනතුරු කිහිපයක් වාර්තා වී තිබේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජකර්තා නුවර කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස් තිබූ අතර, 2023 වසරේදී නිකල් සැකසුම් කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
.