
දේවගැතිවරයෙකු ලෙස ප්‍රකට, සිම්බාබ්වේ ජාතික 'ඌබර්ට් ඒන්ජල්' (Uebert Angel) නමැත්තා එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අශෝභන හැසිරීම්, පහරදීමේ සහ අස්වාභාවික ලිංගික ක්‍රියා ඇතුළු චෝදනා රැසක් මතයි.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, 'හරාරේ හිපොඩ්රෝම්' (Harare Hippodrome) හි බැතිමතුන් ඉරිදා දේව මෙහෙයක නිරතව සිටියදී සන්නද්ධ නිලධාරීන් ඇතුළු වී ඌබර්ට් ඒන්ජල් අත්අඩංගුවට ගෙන තිබේ.
'ඌබර්ට් මුඩ්සනීර්' (Uebert Mudzanire) නම් ඔහු, 'ඌබර්ට් ඒන්ජල්' මැයෙන් සිම්බාබ්වේ හි වඩාත් ප්‍රකට ආගමික චරිතයක් මෙන්ම වඩාත් කැපී පෙනෙන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ද වේ.
සිම්බාබ්වේ ජනාධිපතිවරයා (Emmerson Mnangagwa) 2021 මාර්තු මාසයේදී ඔහුව යුරෝපය සහ ඇමරිකානු කලාපය සඳහා ජනාධිපති නියෝජිතයෙකු සහ විශේෂ තානාපතිවරයෙකු ලෙස ද පත් කරන ලදී.
'Good News Church' ලෙස ද හැඳින්වෙන ඌබර්ට් ඒන්ජල්ගේ, 'Spirit Embassy' දේවස්ථානයට සිම්බාබ්වේ දේශසීමාවෙන් ඔබ්බට විහිදුණු විශාල අනුගාමිකයින් පිරිසක් සිටියි.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, ඌබර්ට් ඒන්ජල්ගේ පාර්ශ්වයෙන් මෙතෙක් නිල අදහස් දැක්වීමක් සිදුකර නොමැත.
අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ පසුගිය මාර්තු මාසයේදී ප්‍රසිද්ධියට පත් වූ පැමිණිල්ලකට අනුව බව කියවේ.
බුලවායෝ (Bulawayo) ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් හරාරේ හි බොරෝඩේල් (Borrowdale) පොලිස් ස්ථානයේදී ඒන්ජල්ට එරෙහිව අශෝභන ලිංගික අතවර පැමිණිල්ලක් ගොනු කර ඇති බව සිම්බාබ්වේ ජාතික පුවත්පතක් එවකට වාර්තා කර තිබුණි.
2025 මාර්තු මාසයේදී හිපොඩ්රෝම් පල්ලියේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී ඔහු තමාට අතවර කළ බවට ඇය චෝදනා කර තිබුණි.
කෙසේ නමුත්, මෙම අත්අඩංගුවට ගැනීම එම පැමිණිල්ල මත පදනම් වූවක්ද යන්න නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.
ඒන්ජල් මීට පෙර ද චෝදනාවන්ට ලක්ව ඇත.
2023 දී, අල් ජසීරා (Al Jazeera) ගවේෂණාත්මක ඒකකය විසින් රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණ යෝජනා ක්රමයක කොටසක් ලෙස සිම්බාබ්වේ වෙත විශාල මුදල් ප්‍රමාණයක් ගෙන ඒම සඳහා සිය රාජ්‍ය තාන්ත්‍රික තත්ත්වය භාවිතා කිරීමට ඒන්ජල් ඉදිරිපත් වන ආකාරය රහසිගත වාර්තාකරුවන් විසින් පටිගත කරන ලද 'Gold Mafia' නම් කොටස් හතරකින් යුත් වැඩසටහන් මාලාවක් විකාශය කෙරිණ.
කෙසේ නමුත් ඒන්ජල් අල් ජසීරා හි විමසීම්වලට ප්‍රතිචාර නොදැක්වූවා සේ ම සිය රාජ්‍ය තාන්ත්‍රික තනතුර දිගටම දැරීය.