
තම ලෙයින් මසින් උපන් දරුවන් මතුයම් දිනෙක රජ කරවන්නට පෙරුම් පුරනා දෙගුරුන් අතරේ දරුවන් අම්බරුවන් යැයි සිතා කටයුතු කරන දෙමාපියනුත් ඉන්නවා.
පොප් රජු මයිකල් ජැක්සන්ගේ පියාත් ඔය කියපු දෙවැනි ගණයට අයිති කෙනෙක්.
ඒ නිසා පුංචි සන්දියේ ඉඳලම සංගීතය එක්ක ජීවිතය ගෙවුණත් ඒ සංගීතය තරම් ඔහුගේ ජීවන ගීතය නම් සුන්දර වුණේ නෑ. හැමෝම මයිකල්ව දන්නේ මිලියන ගණනකගේ හදවත් හොරකම් කරපු සහ බිලියන ගණනක වත්කම් උපයපු පොප් ගායකයෙකු විදියට විතරයි. ඒත් මයිකල්ගේ ජීවිතේ පුරාම හමා ගිය මේ කුණාටුව ආරම්භ වුණේ ඔහුගේ ළමා කාලෙදිමයි.
කුඩා කාලෙම පුංචි මයිකල් ජැක්සන්ට සංගීත කණ්ඩායමකට බැඳෙන්න සිද්ධ වුණා. ඒ සංගීත කණ්ඩායම තමයි 'The Jackson 5'. මේ සංගීත කණ්ඩායමේ හිටියේ මයිකල්ගේ පවුලේම සාමාජිකයන් පස්දෙනෙක්. ඒ නිසයි මේ කණ්ඩායමට 'The Jackson 5' කියලා කිව්වේ. ඉතින් මේ සංගීත කණ්ඩායම නිසාම බොහෝ දරුවන්ට නොලැබෙන ඉතා දුර්ලභ ගණයේ වාසනා ගුණයක් පුංචි මයිකල් වටා ගොඩනැගුණා. ඒ තමයි ඔහු සතු වූ ජනප්‍රියත්වය. හැබැයි ඒ ජනප්‍රියත්වය ඔහුට දරාගත හැකි මට්ටමක නෙවෙයි තිබුණේ.
“මට කවදාවත් අනිත් ළමයි කරන විනෝද සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසා මම මාව හඳුන්වන්න වැඩිපුරම කැමති නෙවර්ලෑන්ඩ් හි පීටර් පෑන් විදියටයි.”
මයිකල් තමන්ගේ ළමා කාලය ගැන කියලා තියෙන්නේ එහෙමයි.
පීටර් පෑන් කියන්නේ ප්‍රබන්ධ කතාවක එන ප්‍රබන්ධ චරිතයක්. පීටර් පෑන්ට පුළුවන් පියාඹන්න. කවමදාවත් වැඩිහිටියකු බවට පත්වෙන්නේ නැති දඟකාර සහ කඩවසම් පිරිමි ළමයකු විදියටයි ඔහුගේ චරිතය විස්තර වෙන්නේ. ඒ වගේම පීටර් පෑන් අවසානයක් නැති තමන්ගේ ළමා කාලය ගත කරන්නේ ‘නෙවර්ලෑන්ඩ්’ කියන ස්ථානයේ. ඒකත් කල්පිතයක්. මයිකල් ජැක්සන් මේ කල්පිතයට කොච්චර ඇලුම් කළා ද කියනවනම්, ඔහුගේ පුද්ගලික නිවස්නය සහ පෞද්ගලික විනෝද උද්‍යානය පවා ‘නෙවර්ලෑන්ඩ්’ කියලයි ඔහු නම් කළේ.
ඒත් ඇයි මයිකල් ඒ විදියට හිතින් මවාගත් ලෝකයක හැමදාම ළමයෙකු වගේ ජීවත්වෙන්න තීරණය කළේ? ඒකට හේතුව තමයි පියාගේ දරදඬු හැසිරීම් නිසා ඔහුට ඔහුගේ ළමා කාලය සම්පූරණයෙන්ම අහිමි වීම.
ඔහු දරුවන්ගේ හපන්කම් මැනවින් හඳුනාගත් පියකු වුණත් ඒවා ඉස්මතු කරන්න, දරුවන් නතු කරගත් විදිය ඉතා කටුකයි. පියාගේ නීතියට අනුව හැම දවසකම පැය දෙකක් හෝ තුනක් මයිකල් ඇතුළු ඔහුගේ සහෝදරයන් නොනවත්වා සංගීත පුහුණුවේ යෙදිය යුතු වුණා.
“අපි සියලු දෙනා ශිල්ප දැක්වූයේ ඔහු වෙනුවෙන්. ඒ වගේම ඔහු අප විවේචනය කළා. කවුරුන් හෝ ඔහුත් සමඟ වාදයට පැටළුණොත්, බඳ පටියකින් හෝ කෝටුවකින් පහර කෑමටත් සිදුවුණා.”
Moonwalk නමින් 1988 දී එළිදැක්වූ ස්වයං චරිතාපදානයේ පියාගෙන් එල්ල වූ ශාරීරික වද හිංසා ගැන මයිකල් ජැක්සන් ඒ විදියටයි සඳහන් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මයිකල් බොහෝ අවස්ථාවල මානසික වශයෙනුත් තම පියා ඉදිරියේ පීඩාවට ලක්වුණා. ඒකට හොඳම උදාහරණය තමයි ඔහුගේ නහය. තරමක් විශාලව වැඩුණු ඔහුගේ නාසය ගැන කුඩා මයිකල් වදවෙන බව ජෝ ජැක්සන් දැනගෙන හිටියා. ඒ නිසාම ඔහු තම පුත්‍රයාව තවත් පෙළන්නට ‘බිග් නෝස්’ කියන නම ඔහු අමතන්නට භාවිත කළා. ඒ අපහාසය ඔහුගේ මනසට කොතරම් දරුණු ලෙස කිඳා බැස්සද කිව්වොත් පසුකලෙක නහයේ පෙනුම වෙනස්කරන්න ඔහු බැරෑරුම් ශල්‍යකර්ම මාලාවකට පවා මුහුණ දුන්නා. අවසානයේ ඒවායේ ප්‍රතිඵල වසන් කිරීමට කෘත්‍රිම ආවරණයක් නාසයට පළඳින්නටත් සිදුවුණා.
දරුවන්ගේ සුබසාධන කටයුතු කෙරෙහි මහත් ඇල්මක් ඇතිව ක්‍රියාත්මක වුණු කෙනෙකු ලෙස මයිකල් ගෞරවයට පාත්‍ර වුණත් 1993 දී ඔහුගේ නම ඉදිරියේ කළු පැල්ලමක් සටහන් වුණා. ඒ ළමා අපචාර චෝදනාවත් නිසා. මයිකල් ජැක්සන් මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළා. තමා සියලු ජාතීන් සහ වයස් කාණ්ඩවලට අයත් දරුවන්ට ආදරය කරන බවත්, දරුවන් සමඟ කාලය ගත කිරීම හරහා මගහැරුණු ළමා කාලය නැවත විඳීමට හැකි වූ බවත්, මයිකල් ජැක්සන් ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් අදාළ චෝදනාව අධිකරණයෙන් පිටත සමථයට පත්වුණා.
ළමා අපචාර චෝදනාව නිසා ඔහුගේ වෘත්තීය ජීවිතයට ඇති වූ කැළැල තරම්ම දරුණු කැළලක් ඔහුගේ මානසික සෞඛ්‍යයටත් ඇතිවුණා.
ඒ නිසා ඒ සිදුවීමෙන් පස්සෙ ඔහු සියල්ලන්ගෙන්ම ඈත්ව සිටීමේ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළා. ඉස්සර ප්‍රසිද්ධියේ මිනිසුන් අතර හැසිරෙමින් විහිළු තහළු කරන, සුරතලයට ඇතිකරන චිම්පන්සියා සමඟින් හාස්‍යජනක දේවල් කරන මයිකල් ජැක්සන් නැවත කවදාවත් ජනතාවට දකින්න ලැබුණේ නෑ. ඉන්පසු තමාගේ ජීවන රටාව ගැන අවට ලෝකයාට රිසි ලෙස අනුමාන කරන්නට ඉඩ දී සිය පෞද්ගලික ජීවිතය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම මයිකල් හැකිතාක් අවම කළා. අනුමාන හේතුවෙන් ඔහු වටා ගෙතුණු කටකතා ගණනත් අධිකයි.
මේ විදියට ඉන්නකොට නැවත 2003 වසරේත් මයිකල් ජැක්සන්ට ළමා අපචාර චෝදනාවක් එල්ල වුණා. එම වසරේම බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී මාටින් බෂීර් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවේදී මයිකල් ජැක්සන් තමාගේ නිරවද්‍යතාවය පිළිබඳව කිව්වේ මෙහෙම කතාවක්.
“එය ලිංගිකත්වය හා සබැඳුණු දෙයක් නොවෙයි. මං ඔවුන්ට හුඟක් කන්න දෙනවා. උණුසුම් කිරි පානයක් සමඟ විස්කෝතු ලබා දෙනවා. ඒක හරිම මිහිරි සහ ආකර්ෂණීය දෙයක්.”
ඇතැම්විට ඒ අපචාර චෝදනා සියල්ල අසත්‍ය බව ඔහුගේ හෘදය සාක්ෂිය දන්නේ නම්, ළමයින් සමඟ කාලය ගතකිරීමේ විනෝදාංශය දිගටම පවත්වා ගෙන යාමේ වරදක් ඔහු නොදකින්නට ඇති.
කිසිදිනෙක වැඩිහිටියකු වීමේ අවශ්‍යතාවයක් නොතිබූ මයිකල් ජැක්සන්, මුළු ජීවිත කාලය පුරාම තරු ගුණය නිසා හටගත් පීඩනය අතරින් සැනසීම සෙවීමේ අරගලයක නිරත වුණා. වෙනස් වීමට අවශ්‍ය වුණත්, කුඩා කල පටන්ම සංගීත ලෝකයේ සන්නාමයක් බවට පත් වූ නිසා අකමැත්තෙන් හෝ ඒ මත රැඳී සිටින්නට ඔහුට සිදුවුණා.
“එදිනෙදා මිනිසුන් සමඟ සිටීමේදී මට අමුතු හැඟීමක් දැනෙනවා. බලන්න, මගේ මුළු ජීවිතයම ගතවෙන්නේ වේදිකාව මත. අත්පොළසන් දීම, ඔල්වරසන් දීම සහ මා පසුපස දිවයෑම හැරෙන්න මිනිසුන්ගෙන් මට හැඟීමක් දැනෙන්නේ නැහැ. සමූහයක් තුළ ඉන්නකොට මට බියක් දැනෙනවා. වේදිකාව මතදී මා ආරක්ෂිතයි.”
මයිකල් ජැක්සන් සිය ප්‍රේක්ෂක ප්‍රතිචාර සම්බන්ධයෙන් දැරුවේ එවන් අදහසක්. සියලු අපචාර චෝදනාවලින් නිදහස් වුව ද, එම චෝදනාවලින් ඉතිරි වූ මානසික කඩාවැටීම මුළු ජීවිත කාලය පුරා මයිකල් ජැක්සන් සමඟ රැඳී තිබුණා. ඒ නිසා 2009 දී 'This Is It' ප්‍රසංග මාලාව නිවේදනය කරන තුරු ඔහු බාහිර ලෝකයෙන් ඈත්වෙලයි හිටියේ.
ඒ වගේ දීර්ඝ නිහඬතාවයකට පස්සේ අවසානයේ මයිකල් ජැක්සන්, ඔහුගේ මිලියන ගණනක රසිකයන් අමන්දානන්දයට පත් කරන්න තීරණය කළා. 'This Is It' ප්‍රසංග මාලාව තමයි ඔහු ඒ වෙනුවෙන් සංවිධානය කළේ. 2009 ජූලි 13 වැනිදා ලන්ඩනයේදී ඇරඹීමට නියමිතව තිබූ මේ ප්‍රසංගයේ සියලුම ප්‍රවේශපත්‍ර ඒ වෙනකොටත් විකිණී අවසන් වෙලයි තිබුණා. නමුත් ප්‍රසංග මාලාවේ පළමු අදියර ඇරඹීමට සති තුනකට අඩු කාලයක් තියෙද්දී ඔහුගේ රසිකයන්ට හද කම්පා කරවන පුවතක් අහන්න ලැබුණා. ඒ 2009 ජුනි 25 වැනිදා පොප් රජු මයිකල් ජැක්සන් ඔහුගේ රසිකයන් මතක තුළ අතරමං කර අවසන් හුස්ම හෙළා ඇති බව.
මයිකල් ජැක්සන් කියන්නේ බොහොම දුර්ලභ ගණයේ ගායකයෙක්. ඔහු හරි ප්‍රසිද්ධයි. නමුත් ඒ තරම්ම ජනප්‍රිය වුණා ද කියන එක අදටත් ප්‍රශ්නයක්. ඒ කොහොම වුණත් මේ පොප් රජුගේ කතාව දරුවන් තලන පෙලන දෙමව්පියන්ට අනතුරු හඟවන කතාවක් කියන එකත් නොකියාම බැහැ...''
උපුටාගැනීම : ධරණී පුවත්පත
සටහන : ඩී.පී.වේවැල්පනාව