
පසුගිය දින නවය පුරා ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන් පිළිබඳ නිල සංඛ්‍යා ලේඛන එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය අලි ජෆාරියන් පවසන්නේ මෙය මෑත ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම මානුෂීය ඛේදවාචකය වන බවයි.
ඒ අනුව පෙබරවාරි 28 වැනිදා සිට ක්‍රියාත්මක අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, පුද්ගලයන් 1,255 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇත.
මියගිය සහ තුවාල ලැබූවන් අතර මාස අටක බිළිඳුන්ගේ සිට අවුරුදු 88ක වයෝවෘද්ධ පුද්ගලයන් ද සිටින බව සඳහන්.
මියගිය පිරිස අතරට කාන්තාවන් 200ක්, මිනාබ් ප්‍රාථමික පාසලට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය දරුවන් 168 දෙනා ද අයත් වනවා.
එමෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටි වෛද්‍යවරුන් සිව්දෙනෙකු, හෙදියන් දෙදෙනෙකු සහ හදිසි සහන සේවකයින් තිදෙනෙකු ඇතුළුව සෞඛ්‍ය සේවකයින් 11 දෙනෙකු ප්‍රහාරවලින් මියගොස් තිබේ.
තවත් සෞඛ්‍ය සේවකයින් 55 දෙනෙකු තුවාල ලබා ඇත.
එරට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය අලි ජෆාරියන්ට අනුව, රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගෙන් වැඩි පිරිසක් දරුණු පිළිස්සුම් තුවාල සහ ගොඩනැගිලි කඩා වැටීමෙන් සිදුවූ තෙරපීම් තුවාල සහිත පුද්ගලයන් වේ.
එමෙන්ම ඉරානයේ සෑම පළාතකටම ස්වාධීනව ක්‍රියා කළ හැකි සෞඛ්‍ය පද්ධතියක් පවතින බවත්, මධ්‍යම රජයේ මැදිහත් වීමකින් තොරව වුවද ප්‍රාදේශීය මට්ටමින් සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට හැකියාව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, රටට අවශ්‍ය සියලුම ඖෂධ වර්ග ඉරානයේ ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් මේ වන විටත් අඛණ්ඩව නිෂ්පාදනය කරමින් පවතින බැවින් ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි.