
දිවයිනට බලපෑ, 'දිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් විපතට පත් මෙරට දරුවන් ගණන 275,000 ඉක්මවන බවට යුනිසෙෆ් (UNICEF) සංවිධානය තොරතුරු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව පුරා ළමුන් උග්‍ර මානුෂීය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
දිවයිනට කඩා වැදුණු මෙම කුණාටුව රට පුරා පුළුල් ගංවතුර සහ දරුණු නාය යෑම් තත්ත්වයක් ඇති කළ අතර ඉන් ජීවිත 456ක් උදුරා ගන්නා ලදී. අතුරුදන් පුද්ගලයින් ගණන 366කි.
මූලික තක්සේරු කිරීම්වලට අනුව 'දිට්වා' නිසා බලපෑමට ලක්වූ පුද්ගලයින් 1,558,919 දෙනා අතරට අයත් ළමුන් සංඛ්‍යාව 275,000 කි.
කෙසේ නමුත් පවතින සන්නිවේදන බාධා සහ මාර්ග අවහිරතා හේතුවෙන් සැබෑ සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ.
මෙරට යුනිසෙෆ් නියෝජිත එමා බ්‍රිග්හැම් (Emma Brigham),
"ළමුන්ට, ඔවුන්ගේ ආරක්ෂාවට සහ යහපැවැත්මට අත්‍යවශ්‍ය සේවාවන්ට සුළි කුණාටුවෙන් සිදු වූ හානිය පිළිබඳව යුනිසෙෆ් සංවිධානය දැඩි කනස්සල්ලට පත්ව සිටී. අලාභ හානි හා අවතැන්වීම්වලට ලක් වූ පවුල් සමඟ අපි සහයෝගයෙන් කටයුතු කරන අතර, මියගිය ආදරණීයයන් වෙනුවෙන් අපගේ බලවත් ශෝකය පළ කරමු."
"ළමුන්ට හදිසි උපකාර අවශ්‍යයි. ජීවිතාරක්ෂක සේවාවන් අත්‍යවශ්‍ය වන වඩාත් අවදානමට ලක් වූ පවුල් වෙත ළඟා වීමට මෙය කාලයට එරෙහි සටනකි. සුළි කුණාටුව පහව ගියද, එහි ප්‍රතිවිපාක තවමත් පහව ගොස් නැත."
යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ නිවාසවලට සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට සිදු වූ දැඩි හානි මෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් කඩාකප්පල් වීම හේතුවෙන් පුළුල් අවතැන්වීම් සිදුවී ඇති බවත් රෝග ව්‍යාප්තිය, මන්දපෝෂණය, අනාරක්ෂිත ජීවන තත්වයන් සහ දරුවන් අතර දැඩි චිත්තවේගීය පීඩාවන් ඇතිවීමේ අවදානම වැඩිවී ඇති බවයි.