
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එල්ල කරන ලද අසාමාන්‍ය සහ දැඩි විවේචන හමුවේ, තමන් ට්‍රම්ප් පරිපාලනයට බිය නොවන බවත්, යුද්ධයට එරෙහිව දිගටම හඬ නඟන බවත් XIV වන ලියෝ පාප් වහන්සේ ප්‍රකාශ කර ඇත.
ජනාධිපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් පාප් වහන්සේ "අපරාධ සම්බන්ධයෙන් දුර්වල සහ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් භයානක" අයෙකු ලෙස හඳුන්වා දුන් අතර, පසුව වාර්තාකරුවන් හමුවේ කියා සිටියේ තමන් උන්වහන්සේගේ "ලොකු රසිකයෙකු නොවන" බවයි.
ඉරාන ගැටුම සම්බන්ධයෙන් පාප් වහන්සේ දරන සාමකාමී ස්ථාවරය ට්‍රම්ප්ගේ මෙම කෝපයට හේතු වී තිබේ.
ඊට ප්‍රතිචාර වශයෙන්, සිය අප්‍රිකානු සංචාරයේ පළමු නැවතුම ලෙස ඇල්ජීරියාව බලා යන අතරතුර ගුවන් යානය තුළදී මාධ්‍යවේදීන් ඇමතූ පාප් වහන්සේ මෙසේ අදහස් දක්වා තිබේ.
"මට ට්‍රම්ප් පරිපාලනය ගැන කිසිදු බියක් නැහැ. මා මෙහි සිටින්නේත්, සභාව පවතින්නේත් ශුභාරංචියේ සාමයේ පණිවුඩය ප්‍රකාශ කිරීමටයි. මම ට්‍රම්ප් සමඟ විවාදයකට පැටලීමට කැමති නැහැ. නමුත් අද ලෝකයේ බොහෝ පිරිසක් පීඩා විඳිනවා, අහිංසකයන් මිය යනවා. මම හිතන්නේ මීට වඩා හොඳ මාර්ගයක් ඇති බව කවුරුන් හෝ පැවසිය යුතුයි."
ට්‍රම්ප් සිය සටහන මගින් පවසා තිබුණේ "මම ධවල මන්දිරයේ නොසිටියේ නම් ලියෝ වතිකානුවේ නොසිටිනු ඇත" යනුවෙනි.
ඔහු තවදුරටත් චෝදනා කළේ පාප් වහන්සේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් දුර්වල ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ ලොව පුරා කතෝලිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.
මිලියන 70ක් පමණ වන ඇමෙරිකානු කතෝලික ජනතාව (එරට ජනගහනයෙන් 20%ක්) සහ ට්‍රම්ප්ගේම උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවා මෙම මතභේදය හමුවේ මුහුණ දෙන තත්ත්වය දේශපාලන විචාරකයින්ගේ අවධානයට ලක්ව තිබේ.