
දිවයිනට බලපෑ ‘දිත්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පසු රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ස්ථාපිත 'Rebuilding Sri Lanka' විස්තීර්ණ ජාතික වැඩසටහන, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි 13 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී නිල වශයෙන් ආරම්භ කරන ලදි.
‘Rebuilding Sri Lanka’ වැඩසටහන සඳහා විවිධ ක්‍රමවේද ඔස්සේ උපායමාර්ගික වශයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කෙරෙනු ඇත.
ඒ අනුව, ලාභ ලැබිය හැකි පරිදි දැනට පවතින ව්‍යාපෘති ප්‍රතිනිර්මාණය කිරීම, මූල්‍ය ප්‍රතිපාදන උපායමාර්ගිකව නැවත වෙන් කිරීම සහ ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගේ හා සංවිධාන වල සහාය ලබා ගැනීම මෙයට ඇතුළත් වේ.
මෙහිදී ගනු ලැබූ සුවිශේෂී මූල්‍ය පියවරක් ලෙස ආපදා සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල් බිලියන 500ක අතිරේක ඇස්තමේන්තුවක් සැළසුම් කිරීම හඳුනාගත හැකිය.
වැඩසටහන වඩාත් විනිවිදභාවයකින් යුතුව සහ ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා, ගරු අග්‍රාමාත්‍යතුමියගේ සභාපතිත්වයෙන් යුතුව සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත.
ඒ අනුව, ආපදාවට ලක්වූ ජනතාව කේන්ද්‍ර කොට ගනිමින් ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම්, නිවාස සහ ජීවනෝපාය නගාසිටුවීම ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමට විශේෂයෙන් කැපවූ අනුකමිටු අටක් හරහා මෙම කාර්ය සාධක බලකාය සමස්ත වැඩසටහන අධීක්ෂණය කරනු ලබයි.
මෙම ජාතික වැඩසටහනට සමගාමීව, ක්‍රියාත්මක අනුකමිටු අතුරින් එක් ප්‍රධාන අනුකමිටුවක සභාපතීත්වය, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරේ. පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීම (Post Disaster Needs Assessment - PDNA) සඳහා වූ මෙම අනු කමිටුවේ, මෙහෙයුම් සඳහා ආරම්භයක් ලෙස එහි කමිටු රැස්වීම පසුගිය ජනවාරි 14 ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.
මෙම PDNA මෙහෙයුම් කමිටුව මගින් පශ්චාත් ආපදා අවශ්‍යතා සඳහා උපායමාර්ගික මාර්ගෝපදේශ ලබා දෙන අතර එමගින් රට තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති ක්‍රියාවලීන් ජාතික ප්‍රමුඛතා සමඟ අනුකූල වන බව සහතික කරයි.
ප්‍රධාන රාජ්‍ය ආයතන සහ සංවර්ධන ක්රියාවලියෙහි පාර්ශවකරුවන්ගෙන් සමන්විත මෙම මෙහෙයුම් කමිටුව, පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීම් ක්‍රියාවලිය සඳහා ශක්තිමත් රාමුවක් සැකසීම, එම ඇගයීම් ක්‍රියාවලියේ පාලන ව්‍යුහය සහ ඵලදායී සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළහ.
ඒ අතුරින් පහත දැක්වෙන වැදගත් අංග පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සිදු වූ හානිය, ආර්ථික වශයෙන් සිදු වූ අලාභය සහ ප්‍රතිසාධන අවශ්‍යතා පිළිබඳ නිවැරදි ඇස්තමේන්තු සහිත සවිස්තරාත්මක පශ්චාත් ආපදා අවශ්‍යතා වාර්තාවක් සකස් කිරීම වෙනුවෙන් නිශ්චිත කාලරාමුවක් සකස් කිරීම සඳහා කමිටුවේ එකඟතාවය හිමි විය.
නිවාස සහ ජනාකීර්ණ ප්‍රදේශ
සෞඛ්‍යය සහ පෝෂණය
කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය, කර්මාන්ත සහ වාණිජ කටයුතු
වාරිමාර්ග, ප්‍රවාහන, ජලය සහ සනීපාරක්ෂාව, විදුලිය
පරිසරය, රැකියා/ජීවනෝපාය සහ ආපදා අවදානම් අවම කිරීම
පරිපාලනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමාජීය අන්තර්ගතයන්
තවද, අන්තර් - අමාත්‍යාංශ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය, දැනුවත්භාවය අවමවීම සහ නිවැරදි දත්ත ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් ආදි පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීම් ක්‍රියාවලියේ පවතින අභියෝග පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එහිදි අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහාය දක්වන සියලු පාර්ශ්වකරුවන්ගේ ඉමහත් කැපවීම සම්බන්ධයෙන් සිය අවංක කෘතඥතාව පළ කළ අතර, එහිදී ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද සහතික විය. තවද, කඩිනම් මෙන්ම, කල්පවතින ප්‍රතිසාධනයක් සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක ඇති වැදගත්කම පිළිබඳව ද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුරෝපා සංගමය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ආසියානු ආපදා පෙර සූදානම් කිරීමේ මධ්‍යස්ථානය, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ජාතික සැළසුම් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.