
පසුගිය පාලන කාලය තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු එම පවුලේ සිව් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු 3 ක් ගොනුකර ඇති බව අල්ලස් කොමිසම අද (16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මහාආරච්චි හමුවේ දන්වා සිටියා. එම නඩු හතර ජනවාරි 20, 29 සහ පෙබරවාරි 13 යන දිනවල කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇති බැවින් ඔවුන්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩු බහා තබන ලෙසද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කළා. අල්ලස් කොමිසම ඒ බව කියා සිටියේ එම සිද්ධියට අදාල නඩුව අද(16) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදීය. මෙම සිද්ධියට අදාල සැකකරුවන්ට මහාධිකරණයේ අධි චෝදනා ගොනුකරන බව පෙර නඩු දිනයේදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබුණා. එහිදී තවදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයින් වශයෙන් තම හිතවතුන් කිහිප දෙනෙකුට පත්වීම් ලබා දී ඔවුන් වෙත අමාත්‍යාංශයෙන් ගෙවන ලද වැටුප් ,අතිකාල දීමනා තම පුද්ගලික වියදම් සහ දේශපාලන කටයුතු වලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් පාඩු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල , නිපුණි ක්‍රිෂ්ණිකා යන පිරිස මේ වන විට ඇප මත මුදා හරිනු ලැබුවා.