
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (China Harbour Engineering Company - CHEC) සභාපති BAI YINZHAN මහතා ඇතුළු නියෝජිතයන් අතර හමුවක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ "සෘජු හා දැක්මක් සහිත නායකත්වය" හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට තමන්ට දැඩි විශ්වාසයක් ඇති වී තිබෙන බව චයිනා හාබර් සමාගමේ සභාපති BAI YINZHANමහතා පැවසීය.
විශේෂයෙන්ම වරාය නගර විශේෂ ආර්ථික කලාපය සඳහා ලබා දී ඇති දිරිගැන්වීම් පිළිබඳව සිය කෘතඥතාව පළ කළ සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරභාවයට පත්ව තිබීමද අගය කළේය.
රටේ ආර්ථික වර්ධනය සඳහා සෘජු විදේශ ආයෝජන (FDI) අත්‍යවශ්‍ය සාධකයක් බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය කැපවී සිටින බවද සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා මත රජය ප්‍රතිපත්තිමය ස්ථාවරභාවයකට පැමිණ ඇති බවත්, එම ස්ථාවරභාවය මත සිට ආයෝජකයන්ට හිතකර දිශාවකට කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා රටට සුබදායක වන ආයෝජන සඳහා රජයෙන් ලබා දිය හැකි ඉහළම සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බවත්, විශේෂයෙන්ම වරාය නගර කලාපය සංවර්ධිත ආර්ථික කලාපයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් ප්‍රකාශ කළේය.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී චයිනා හාබර් ඉංජිනේරු සමාගම දැක්වූ සහායද මෙහිදී ජනාධිපතිවරයාගේ කෘතවේදී ඇගයීමට ලක් විය.
කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරු සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සාමාන්‍යාධිකාරී Su Bo මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.