
තීරුබදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ විදේශීය මත්පැන් සහ දුම්වැටි විශාල තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් මත ඊයේ (12) වැටලීමක් සිදු කොට කොටහේන පොලිස් වසමේ Expo Resident මහල් නිවාස සංකීර්ණයේ රථ ගාල පරික්ෂාවට ලක් කළා. එහිදී බලපත්ර නොමැතිව මෙරටට ගෙන්වන ලද විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 340 ක් සහ තීරුබදු රහිතව නීති විරෝධී ලෙස ආනයනය කළ Manchester වර්ගයේ දුම්වැටි 20,300ක් අත්අඩංගුවට ගනු ලැබුවා. එමෙන්ම, මෙම ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 5,306,200ක මුදලක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගත් බව සඳහන්. මෙම විදේශීය මත්පැන් බෝතල් සහ දුම්වැටි තොගය ලොරි රථයකින් ප්රවාහනය කිරීමට සුදානම් වු බව පැවසෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 13, කොටහේන ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.