
'දිට්වා' සුළි කුණාටුව මෑත ඉතිහාසයේ අපේ රට මුහුණ දුන් දරුණුතම සහ අභියෝගාත්මකම ස්වභාවික ව්යසනය බවත්, එමගින් පීඩාවට පත් සෑම පවුලක්ම තමන්ගේ දෙපයින් නැගී සිටිනතුරු රජය අත් නොහරින බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
දිට්වා ආපදාවෙන් පීඩාවට පත් මහනුවර දිස්ත්රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු සහ මුදල් චෙක්පත් ප්රදානය කිරීම වෙනුවෙන් මහනුවර නගරශාලාවේදී ඊයේ ( ඔක්තෝබර් 15) දින පැවති වැඩසටහනට සහභිගීවෙමින් වෙමින් අග්රාමාත්යතුමිය මේ බව පැවසුවාය.
'දිට්වා' ආපදාව නිසා මහනුවර දිස්ත්රික්කයේ පවුල් 58,753 කට අයත් පුද්ගලයින් 195,271 දෙනෙක් බලපෑමට ලක් වූ අතර සම්පූර්ණයෙන්ම නැවත පදිංචි කළ යුතු පවුල් සංඛ්යාව 7,941 කි. ඒ අනුව රජයේ ඉඩම් වල පවුල් 1,802ක්, තමන්ගේම ඉඩම්වල පවුල් 1,064ක්, නිවාස මිලදී ගැනීම වෙනුවෙන් පවුල් 2,300ක්, ඉඩම් මිලදී ගෙන නිවාස සෑදීමට පවුල් 757 සහ වතු ආශ්රිතව පවුල් 454ක් නැවත පදිංචි කිරීමේ විකල්ප අවස්ථා හඳුනාගෙන පහසුකම් සැලසීමේ කටයුතු සිදු කෙරෙමින් තිබෙි. මේ වෙනවිට පවුල් 1,535 කට අදාළ ගෙවීම් අවසන් කර ඇති අතර රජයේ ඉඩම් හිඟවීම සහ NBRI වාර්තා ප්රමාද වීම් හේතුවෙන් සිදු වූ ප්රමාදයන් කඩිනම් කිරීමට ප්රාදේශීය ලේකම්වරුන් හරහා කටයුතු කරමින් තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්රාමාත්යතුමිය මෙසේද කීය,
හැම දරුවෙකුටම සුරක්ෂිත නිවසකුයි අධ්යාපනයකුයි හිමි වෙනකල් රජයේ යළි ගොඩනැගීමේ මෙහෙයුම අතනොහැර ඉදිරියටම ගෙනියනවා. ආපදාවෙන් හානියට පත් වුණු ජනතාව වෙනුවෙන් රජය රුපියල් බිලියන 500ක පමණ මුදලක් වෙන් කළා.
ඒ වගේම ඒ මුදල් වෙන් කළේ රට තවත් ණයකාරයෙක් කරලා නෙමෙයි, වංචාවයි දූෂණයයි අවම කරලා විනිවිදභාවයෙන් වැඩ කරපු නිසා රජයේ භාණ්ඩාගාරයට ඉතිරි කරගන්න ලැබුණු මුදල්වලින්.
ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානය හරහා මේ වෙන කොටත් ඒ මුදල් යොදාගෙන විශාල සහන ප්රමාණයක් ජනතාවට දීලා ඉවරයි. ඒ අනුව, නිවාස පිරිසිදු කරගන්න සුදුසුකම් ලැබූ පවුල් 431,993 න් 431,516 කටම, ඒ කියන්නේ 99.95% කටම, රුපියල් 25,000 ගානේ දෙන්න රුපියල් මිලියන 10,787 කට වැඩිය වැය කරලා තියෙනවා. ඒ වගේම, අත්යවශ්ය මුළුතැන්ගෙයි බඩුමුට්ටු ගන්න සුදුසුකම් ලැබූ පවුල් 172,057 න් 167,458 කටම, ඒ කියන්නේ 99.53% කටම, රුපියල් 50,000 ගානේ දෙන්න රුපියල් මිලියන 8,372 කට වැඩිය වැය කරලා තියෙනවා. දරුවන්ගේ අධ්යාපන කටයුතු වෙනුවෙන් සුදුසුකම් ලැබූ සිසුන් 207,162 න් 205,200 කටම, ඒ කියන්නේ 99.85% කටම, රුපියල් 15,000 ගානේ ගෙවන්න රුපියල් මිලියන 3,078 ක මුදලක් වෙන් කරලා තියෙනවා.
ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ දේශීය සංවිධාන එකතු වෙලා ලක්ෂ 6 කට අධික පිරිසකට සෘජුවම සහනාධාර ලබා දීලා තියෙනවා.
සහනාධාර ලබා දීමේදි ඇතැම් ප්රදේශවල යම් යම් ප්රමාදයන් සිදු වුණා. පැවති නීතිමය තත්ත්වයන්, පැරණි චක්රලේඛවලින් ආපු බාධා, ඇත්තටම හානියක් වුණේ නැති ඇතැම් අය බොරු වාර්තා දෙන්න හදපු එක, රාජ්ය නිලධාරීන්ගේ පරිපාලනමය ගැටලු ඒ ප්රමාදයන්ට හේතු වුණා. කොහොම වුණත්, ඒ කිසිම බාධාවක් හමුවේ නතර නොවී, සැබෑ ලෙසම අසාධාරණයට ලක්වුණු අසරණ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තිබුණු සියලුම නීතිමය සහ පරිපාලනමය ගැටලු විසඳලා දෙන්න රජය කටයුතු කළා. ත්රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෘජු දායකත්වයෙන් බදුල්ල, මහනුවර, මාතලේ සහ නුවරඑළිය වගේ දිස්ත්රික්කවල නව නිවාස හදන වැඩසටහන දැන් තියෙන්නේ අවසන් අදියරේ. දිට්වා සුළිකුණාටුව ආපු දවසේ ඉඳන්ම මේ දැවැන්ත කාර්යයට සෘජුවම සහයෝගය දුන්නු ත්රිවිධ හමුදාවට, රාජ්ය නිලධාරීන්ට, දේශීය හා ජාත්යන්තර සංවිධානවලට, ස්වේච්ඡා පිරිස්වලට සහ සමස්ත මහජනතාවට තමන්ගේ හදපිරි ප්රණාමය පුදකර සිටින බව අග්රාමාත්යතුමිය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ජගත් මනුවරණ, තනුර දිසානායක, තුෂාරි ජයසිංහ, ඊ.එම්. බස්නායක, යන මහත්ම මහත්මීන්, නගරාධිපතිතුමන් ඇතුළු ප්රාදේශිය මන්ත්රීවරුන්, දිස්ත්රීක් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුළු ප්රාදේශිය ලේකම්වරුන් රාජ්ය නිලධාරීන්, ආපදාවට පත් ප්රතිලාභින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.