
විද්යාත්මක පස පරීක්ෂාවක් සිදු කර ඒ අනුව පොහොර භාවිත කිරීමෙන් සහ කාබනික හා රසායනික පොහොර මිශ්රව යෙදීමෙන් කෘෂිකාර්මික නිෂ්පාදන පිරිවැය අඩු කර අස්වැන්න ඉහළ නංවාගත හැකි බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ජාත්යන්තර පොහොර දිනයට සමගාමීව ජාතික පොහොර ලේකම් කාර්යාලය සංවිධානය කළ ජාතික සැමරුම් වැඩසටහන සහ අලෙවි ප්රදර්ශනයට එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
එම වැඩසටහන ඔක්තෝබර් 13 සහ 14 දෙදින දෙහිඕවිට ප්රාදේශීය සභා ක්රීඩාංගණ පරිශ්රයේදී පැවැත්විණි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා විද්යාත්මක පස පරීක්ෂා කර ඒ අනුව පොහොර නිර්දේශ කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව පැවසූ නියෝජ්ය අමාත්යවරයා, අවශ්ය ප්රමාණයට පමණක් පොහොර යෙදීමෙන් අස්වැන්න ඉහළ නංවාගැනීමටත්, ජලය හා වාතය දූෂණය වීම අවම කර නිෂ්පාදන පිරිවැය අඩු කරගැනීමටත් හැකි බව සඳහන් කළේය.
එබැවින් වගාබිම්වල පස පරීක්ෂා කරගැනීමට යොමුවන ලෙස ඔහු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
බතලගොඩ වී පර්යේෂණ ආයතනය වසර 15ක් පුරා කන්න 30ක් තිස්සේ සිදු කළ පර්යේෂණ අනුව කාබනික හා රසායනික පොහොර මිශ්රව යෙදීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකි බවද අමාත්යවරයා පැවසීය.
ප්රදර්ශනයට පොහොර සමාගම් සහ අදාළ රාජ්ය ආයතන එක්ව සිටි අතර, නව කෘෂිකාර්මික සහනාධාර, ආරක්ෂිත ගෘහ තුළ වගා ක්රම, පරිසර හිතකාමී පොහොර සහ ජංගම රසායනාගාර මඟින් පස පරීක්ෂා කිරීමේ පහසුකම් පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරිණි. පරිසර හිතකාමී වගා ක්රම අනුගමනය කළ ගොවීන් ඇගයීම සඳහා ත්යාග ප්රදානයක් ද පැවැත්විණි.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කාංචන වැලිපිටිය මහතා, දෙහිඕවිට ප්රාදේශීය සභාවේ සභාපති සමන්සිරි වීරසිංහ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයෝ, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීහු, ගොවි ජනතාව සහ සිසු දරුවෝ සහභාගී වූහ.