
සුපිරි ඉන්දීය නළු රජිනිකාන්ත්ගේ නවතම චිත්‍රපටය ගැන නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
තාවකාලිකව ‘Thalaivar 173’ ලෙස නම්කර ඇති චිත්‍රපටය, කමල් හසන්ගේ නිෂ්පාදන ආයතනය වන 'Raaj Kamal Films International (RKFI)' යටතේ නිෂ්පාදනය කරනු ඇති.
සුන්දර් සී (Sundar C) විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය 2027 පොංගල් සමයේදී නිකුත් කිරීමට නියමිතය.
අධ්යක්ෂ සුන්දර් C මීට පෙර රජිනිකාන්ත් සමඟ ජනප්‍රිය චිත්‍රපටයක් වන 'අරුණාචලම්' (Arunachalam) සහ කමල් හාසන් සමඟ විචාරක පැසසුමට ලක් වූ 'අන්බේ සිවම්' (Anbe Sivam) අධ්‍යක්ෂණය කර ඇත.
මෙය වසර 46කට පසු රජිනිකාන්ත් - කමල් හසන් අතර නැවත එක්වීමක් සනිටුහන් කරයි.
මෙම සුවිශේෂී නැවත එක්වීම පිළිබඳ පුවත ප්‍රථම වරට වාර්තා වූයේ රජිනිගේ මෑතකදී තිරගත වූ අධ්යක්ෂ ලෝකේෂ් කනගරාජ්ගේ 'කූලි' (Coolie) චිත්‍රපටය නිකුත් වීමෙන් පසුවයි.
කමල් හාසන් ද සැප්තැම්බර් මස මුලදී මේ ගැන සඳහන් කර තිබිණ.
පසුව රජිනිකාන්ත් ද සැප්තැම්බර් 17 වැනිදා මාධ්‍යවේදීන්ට සඳහන් කර තිබුණේ ව්‍යාපෘතිය සැලසුම් මට්ටමේ පවතින බවයි. "හොඳ තිර පිටපතක් ලැබුණොත් චිත්‍රපටය ආරම්භ වේවි. අපි ඒ සඳහා සැලසුම් කරනවා"
කමල් හාසන්ගේ 'වික්‍රම්' (Vikram) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලෝකේෂ් කනගරාජ් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ඇතැයි අනුමාන පැවතිණි.
පසුව, නළු-අධ්යක්ෂ ප්‍රදීප් රංගනාදන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා පැතිර ගිය නමුත් අවසානයේදී Winner චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වන 'සුන්දර් C' ට මෙම අවස්ථාව හිමි වී ඇති බව තහවුරු විය.
1995 දී Murai Maman සමඟින් සිය මංගල අධ්‍යක්ෂණය සිදු කළ සුන්දර් C, Ullathai Allitha, Arunachalam, Anbe Sivam, Kalakalappu සහ Aranmanai වැනි විචාරක පැසසුමට ලක් වූ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කිරීම සඳහා ප්‍රසිද්ධය.