
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමෙන්, එළඹෙන 15, 16 සහ 17 යන දිනවල දිවයිනට බලපාන වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව උතුර, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය වැඩිවිය හැකි බවයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නිවැරදි අනවැකි පළ කිරීමට ප්‍රමාණවත් දත්ත තවමත් නොමැති බැවින් ඉදිරියේදී ඒ පිළිබඳව අධ්‍යයන කර අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට අවශ්‍ය වුවහොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් අධ්යක්ෂවරයා සඳහන් කරයි.
මේ දිනවල දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය අස්ථායීභාවය, එමෙන්ම එල්නිනෝ තත්ත්වයේ ප්‍රබලත්වය මත ඇතැම් දිනවල සවස් කාලයේ තද වැසි අපේක්ෂා කළ හැකි බවත් අධ්යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
අධ්යක්ෂවරයා පෙන්වාදෙන්නේ, මෙම දෙවන අන්තර් මෝසම් කාලයේදී දිවයිනේ ඕනෑම තැනක හවස් කාලයේදී තද වැසි ඇතිවිය හැකි බවයි.
මෙම වැසිත් සමඟ තාවකාලිකව තද සුළං, අකුණු අනතුරු ඇති විය හැකි බැවින් ඒවායින් වැළකීමේ පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර ධීවර සහ නාවික ප්‍රජාවට නැගෙනහිර, ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අවධානයෙන් කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. එමෙන්ම ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන අවවාද සහ අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් අවධාරණය කරයි.