යුක්රේන යුද්ධය අවසන් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස ක්‍රෙම්ලිනයට ආර්ථික පීඩනයක් ඇති කිරීම සඳහා එක්සත් ජනපදය උත්සාහ කරන බැවින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට එකඟ වී ඇති බවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඉන්දියාව "කෙටි කාලයක් ඇතුළත" මිලදී ගැනීම් නවත්වන බවට තමාට සහතික වූවා යැයි ට්‍රම්ප් සඳහන් කළ බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා තම වෙළඳ යුද්ධයේදී ඉන්දියාවේ රුසියානු තෙල් මිලදී ගැනීම්වලින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කර ඇති නමුත් දිල්ලිය මෙතෙක් ඊට විරුද්ධ වී ඇත.
කෙසේ නමුත් ට්‍රම්ප්ගේ ප්රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජයේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ, මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද පරිපාලනය සමඟ සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින බවයි.
තෙල් සහ ගෑස් රුසියාවේ විශාලතම අපනයන වන අතර මොස්කව්හි විශාලතම ගනුදෙනුකරුවන් අතරට චීනය, ඉන්දියාව සහ තුර්කිය ඇතුළත්.
ට්‍රම්ප් පරිපාලනය රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය නතර කරන ලෙස ජපානයට ද බල කරමින් සිටියි.
ඒ අනුව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ, ජපාන මුදල් අමාත්‍ය කට්සුනොබු කැටෝ වෙත මෙම "අපේක්ෂාව" දැනුම්දී ඇති බවයි.
ඉන්දියාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කරන්නේ, තෙල් නැව්ගත කිරීම් "වහාම" නතර කිරීමට ඉන්දියාවට නොහැකි වන නමුත් මෙය ටික කාලයක් ගන්නා ක්‍රියාවලියක් වනු ඇති බවත් එම ක්‍රියාවලිය ඉක්මනින් අවසන් වනු ඇති බවයි.
රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් සමඟ තම රටෙහි සබඳතා තිබියදීත්, රුසියාව-යුක්රේන යුද්ධයේදී ඉන්දියාව මධ්‍යස්ථව සිටින බවට තර්ක කරමින් මෝදි මාස ගණනාවක් තිස්සේ තම ස්ථාවරය පෙන්නුම් කරමින් සිටියි.