
පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැවැති ඇමෙරිකා - ඉරාන සාකච්ඡා එකඟතාවයකින් තොරව බිඳ වැටීමත් සමඟ, ලෝක දේශපාලනය උඩුයටිකුරු කරමින් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම වටලා අවහිර කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සන්නද්ධ හමුදාවන්ට නියෝග කර තිබේ.
ඉරානය සමඟ පැවැති තීරණාත්මක සාකච්ඡා අසාර්ථක වීමෙන් පැය කිහිපයකට පසු සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන හෝ ඉන් පිටවන ඕනෑම යාත්‍රාවක් වළක්වාලීමේ ක්‍රියාවලිය ඇමෙරිකානු නාවික හමුදාව වහාම ආරම්භ කරන බවයි.
"අපට අවශ්‍ය වූයේ ඕනෑම අයෙකුට නිදහසේ යාම් ඊම් කළ හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමටයි. නමුත් ඉරානය ඊට ඉඩ දුන්නේ නැහැ," යනුවෙන් ඔහු එහි සඳහන් කර ඇත.
මෙහි ඇති වඩාත්ම තීරණාත්මක පියවර වන්නේ, ඉරානයට නාවික බදු ගෙවන ඕනෑම ජාත්‍යන්තර යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලෙස ට්‍රම්ප් උපදෙස් ලබා දීමයි.
ඒ අනුව, එවැනි "නීතිවිරෝධී" බදු ගෙවන කිසිදු යාත්‍රාවකට මහ මුහුදේ ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ නොදෙන බවට ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.