
ඝාතනය කර සියදිවි නසාගැනීමක් (murder-suicide) බවට සැකකෙරෙන සිද්ධියකින් එකම පවුලේ අටදෙනෙකුට ජීවිත අහිමි වීමක් පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ සැමියා ,බිරිඳ සහ දරුවන් හයදෙනෙකි.
මෙම මරණයන් සමඟ, අදාළ කාන්තාව (බිරිඳ) විසින් තම සැමියා ළාබාල කාර්යාල සේවිකාවක සමඟ පැවැත්වූ බව කියන ප්‍රේම සබඳතාවක් පිළිබඳව සහ එමගින් තම විවාහයට එල්ල වූ බලපෑම ගැන මීට පෙර Reddit සමාජ මාධ්‍යයේ තබන ලද සටහනක් ද මහත් කතාබහට ලක්ව තිබේ.
විදෙස් වාර්තාවන්ට අනුව 47 හැවිරිදි ක්‍රිස්ටෝෆර් කැරොල්කෙවිච් (Kristopher Karolkiewicz) විසින් මිචිගන්හි ග්‍රෑන්ඩ් හැවන් හි පිහිටි තම නිවසේදී, ඔහුගේ 39 හැවිරිදි බිරිඳ වන අමන්දා 'මැන්ඩි' කැරොල්කෙවිච් (Amanda 'Mandy' Karolkiewicz) සහ වයස අවුරුදු 5 ත් 15 ත් අතර පසුවන ඔවුන්ගේ දරුවන් හයදෙනා වෙඩි තබා ඝාතනය කර පසුව සියදිවි නසාගෙන ඇත.
වෙඩි තැබීමෙන් පසුව නිවස ඇතුළත ස්ථාන කිහිපයකට හිතාමතාම ගිනි තබා ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබේ.
නිවසෙහි ගින්න නිවීම සඳහා හදිසි ඇමතුම් සේවකයින් කැඳවීමෙන් පසුව, මෙම දෙමාපිය යුවළගේ සහ දරුවන්ගේ සිරුරු සොයා ගෙන ඇති බව සඳහන්.
විදෙස් වාර්තාවන්ට අනුව, පවුලේ සාමාජිකයින් අටදෙනාම මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙනි.
ඒ අනුව මෙය ඝාතනය කර සියදිවි නසාගැනීමේ සිද්ධියක් ලෙස වාර්තා කර ඇති අතර, පවුලේ සුරතල් සතුන් ද ගින්නෙන් මියගොස් ඇති බවත් සඳහන් කර තිබේ.
| විවාහයේ ගැටලු ගැන Reddit සටහන්
'The Detroit News' සහ 'The Holland Sentinel' වාර්තාවන්ට අනුව, Reddit සමාජ මාධ්‍යයේ මැන්ඩි විසින් 2024 වසරේදී ඇගේ විවාහය ගැන සටහනක් තබා තිබේ.
එම සටහන තබා ඇති ගිණුම ඇයට අයත් බව ද අදාළ පුවත්පත් මාධ්‍ය ආයතන ද්විත්වයම තහවුරු කරගෙන තිබේ.
එම සටහන්වල මැන්ඩි සඳහන් කර ඇත්තේ තමා කාර්යාල සේවිකාවක ලෙස සේවය කරන අතරතුර ක්‍රිස්ටෝෆර් හමුවූ බවත්, එම කාලයේ ඔහු වයසින් වැඩි දික්කසාද අයෙකු වූ බවත්ය.
නමුත් වසර ගණනාවකට පසු, එක්ව ජීවිතයක් ගොඩනඟා ගනිමින් දරුවන් හදා වඩා ගත් පසුව, ඔහුට එකල තමන්ව හමුවන විට පැවති වයසේම පසුවූ වෙනත් සේවිකාවක් සමඟ ඔහු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බව ඇය සඳහන් කර තිබේ.
"ඔහු දික්කසාද වූ, මට වඩා වයසින් වැඩි අයෙක්... වසර දහයකට පසු, දරුවන් සිටියදී, මම කාර්යාල සේවිකාවක ලෙස සිටි වයසේම පසුවූ වෙනත් සේවිකාවක සමඟ එක්ව ඔහු මට වංචා කළා"
ඒ අනුව වසරක් තිස්සේ තමාටම දොස් පවරා ගැනීමෙන් පසුව, තම සැමියාගේ ක්‍රියාවල බර තමා දැරිය යුතු නැති බව තමාට වැටහුණු බව ද ඇය ලියා තිබුණි. එමෙන්ම එම චෝදනා හමුවේ වුවද, දරුවන් උදෙසා විවාහය රැක ගැනීමට ඇය උත්සාහ කළ බව ද සඳහන් කර තිබේ.
"මම මටම කියාගත්තා, 'මම මගේ සැමියාට ද්වේෂ කරනවාට වඩා මගේ දරුවන්ට ආදරෙයි' කියලා. ඔවුන් මේ ගැන කිසිවක් දැන සිටියේ නැහැ.''
තම සැමියා සැකකටයුතු ලෙස හැසිරෙනු අසුවීමෙන් පසුව ඔවුන් විවාහ උපදේශනයට යොමු වූ බව ද මැන්ඩි සඳහන් කර තිබේ.
"ඔහු සැකකටයුතු ලෙස හැසිරුණු ආසන්නතම සිදුවීමෙන් පසුව, මම ඔහුව නැවත තනි උපදේශනයට යොමු කළා. අපි ප්‍රථම වතාවට විවාහ උපදේශනයට ද ගියා...''
| සැමියාට රැකියාව අහිමි වීම
'American Heart Association' හි විකුණුම් සහ අලෙවිකරණ උපසභාපති ලෙස සේවය කළ ක්‍රිස්ටෝෆර් කැරොල්කෙවිච්ගේ රැකියාව මෙම ඝාතනය සිදුවීමට දින කිහිපයකට පෙර අහිමිව තිබේ.
මැන්ඩි මීට පෙර බැංකු සහ රක්ෂණ ක්ෂේත්රවල ද සේවය කර තිබූ අතර, පසුව ග්‍රෑන්ඩ් හැවන් හි රජයේ පාසල්වල ආදේශක ගුරුවරියක ලෙස සේවය කර තිබේ.
2008 වසරේදී හමුව ඇති මෙම යුවළ 2009 අගෝස්තු මාසයේදී විවාහ වී තිබේ. මියයන විට ඔවුන් වසර 17 කට ආසන්න කාලයක් එකට ජීවත් වී තිබුණි.