
සෞදි අරාබිය සහ එක්සත් ජනපදය එක්ව ඉරාකයේ ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මෑතකදී සෞදි අරාබියේ නැගෙනහිර පළාත සහ රියාද් ප්‍රදේශයේ ඛනිජ තෙල් පහසුකම් ඉලක්ක කරමින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඉරාක භූමියෙ සිට ඉරානයට හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් එවූ ඩ්‍රෝන යානා කිහිපයක් සෞදි ගුවන් ආරක්ෂක පද්ධතිය මඟින් විනාශ කළ බවයි. එමෙන්ම, “සෞදි අරාබිය ගැටුම් උත්සන්න කිරීමට අපේක්ෂා නොකරන නමුත්, රටට එරෙහි ඕනෑම ආක්‍රමණයකට ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බව” ද එම නිවේදනයේ අවධාරණය කර තිබෙනවා. මේ අතර ඉරාකයේ Popular Mobilisation Forces (PMF) සංවිධානය පවසන්නේ, එහි ස්ථාන කිහිපයකට එල්ල වූ මෙම ඒකාබද්ධ ප්‍රහාරවලින් සාමාජිකයන් අට දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මෙම ප්‍රහාර “ඉතා භයානක තත්ත්වයක් උදාකරන ක්‍රියාවක්” ලෙස හඳුන්වා දෙන ඉරානයේ සහාය ලබන ඉරාක සන්නද්ධ කණ්ඩායම් එකතුවක් වන PMF සංවිධානය එය ඉරාකයේ ස්වෛරීත්වය සහ රජයේ නිල ආරක්ෂක ආයතන ක්‍රියාකාරිත්වය උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කර තිබෙනවා. ඉරාකයේ තවත් ඉරාන හිතවාදී සන්නද්ධ සංවිධානයක් වන Islamic Resistance in Iraq නිවේදනයක් නිකුත් කරමින් සෞදි අරාබියට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කර ඇත. සෞදි අරාබියේ චෝදනා “අසත්‍ය ප්‍රකාශ” ලෙස හඳුන්වා දී ඇති එම සංවිධානය සෞදි අරාබියෙන් සිදු කරන ඕනෑම අවිචාරවත් ක්‍රියාවකට දැඩි ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.