
ශ්‍රි ලංකාවට දකුණු දෙසින් එපිට මුහුදේදි යුද නෞකාවකට එල්ල වූ මාරාන්තික එක්සත් ජනපද ප්‍රහාරයට පිළිතුරු දෙන බවට ඉරාන හමුදා ප්‍රධානියා අනතුරු අඟවනවා.
ඉරානයේ නවතම යුද නෞකාවන්ගෙන් එකක් වන IRIS Dena නෞකාව ඉලක්ක කරගනිමින් ඉන්දීය සාගරයේදී එල්ල වූ ප්‍රහාරයෙන් එහි කාර්ය මණ්ඩලයේ 104 දෙනෙකු මියයෑමට "නිසි පිළිතුරු ලබා දෙන" බවට ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි (Amir Hatami) අනතුරු අඟවා තිබෙනවා. හමුදා අභ්‍යාසයකින් පසු ආපසු පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
විනාශකළ ඩෙනා නෞකාවේ කාර්ය මණ්ඩලය සාමකාමී මෙහෙයුමක් නිමා කර නැවත ඉරානය බලා එමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්වූ බවත් නාවිකයන් සෘජු සටනක නිරතව නොසිටියදී පවා මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉරාන හමුදා ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළ බව ඉරානයේ IRNA පුවත් ඒජන්සිය ප්‍රකාශ කරනවා.
ඩෙනා නෞකාවේ නාමය සහ එහි කාර්ය මණ්ඩලයේ කැපකිරීම් ඉරාන නාවික ඉතිහාසයේ නිර්භීතකම සහ කැපවීමේ සංකේතයක් ලෙස සදාකල් පවතිනු ඇතැයි ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි ප්‍රකාශ කොට තිබෙනවා. ඉරානයේ සාගර සීමාවන් ආරක්ෂා කිරීමටත්, වඩාත් දැඩි අධිෂ්ඨානයකින් යුතුව නාවික බලය ශක්තිමත් කිරීමටත් කටයුතු කරන බව ඉරාන හමුදා ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.