
යුක්රේන යුද්ධය, බලශක්ති සහයෝගීතාව සහ ඇමෙරිකානු සබඳතා පිළිබඳ අවධානය
චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව විසින් මීට පෙර නිකුත් කළ නිල කාලසටහනට අනුව, නායක දෙපළ අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණේ දිවා භෝජන සංග්‍රහයක් අතරතුරදීය.
ඊයේ (17) රාත්‍රියේ ෂෙන්ෂෙන් නුවරට පැමිණි පුටින් ජනාධිපතිවරයා, දිවා භෝජනයෙන් අනතුරුව
ෂී ජින්පිං ජනාධිපතිවරයා සමඟ ෂෙන්ෂෙන් විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වීමට ද නියමිතය.
එසේම අද රාත්‍රියේ පැවැත්වෙන රාජ්‍ය උත්සවයකට ද ඔහු සහභාගී වීමට නියමිතව තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා, රුසියානු ජනාධිපති පුටින්ට ජාත්‍යන්තර වේදිකාවේ රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරය ශක්තිමත් කරගැනීම සඳහා විශාල අවස්ථාවක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
2014 වසරේ ක්රිමියාව ඈඳා ගැනීම සහ 2022 පෙබරවාරි මාසයේ යුක්රේනයට එරෙහිව මහා පරිමාණ ආක්‍රමණයක් දියත් කිරීම හේතුවෙන් රුසියාව මේ වන විට බටහිර රටවල් ඇතුළු ජාත්‍යන්තර පාර්ශ්ව රැසක දැඩි ආර්ථික සම්බාධකවලට මුහුණ දී සිටී.
මෙම සාකච්ඡාවලදී යුක්රේන යුද්ධය ප්‍රධාන මාතෘකාවක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
චැතම් හවුස් ආයතනයේ රුසියාව සහ යුරේසියානු වැඩසටහනේ විශේෂඥ ටිමෝති ඇෂ් පවසන්නේ, මෙම සමුළුව 1945 වසරේ පැවැති යාල්ටා සමුළුවට සමාන ආකාරයකින් ඉදිරිපත් කිරීමට පුටින් උත්සාහ කරනු ඇති බවයි.
දෙවැනි ලෝක යුද්ධයේ අවසාන අදියරේදී පැවැති යාල්ටා සමුළුවට එවකට ඇමෙරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් සහ සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් සහභාගී වූහ.
එහිදී නාසි ජර්මනියේ පරාජය සහ යුද්ධයෙන් පසු ලෝකයේ දේශපාලනික සැලැස්ම පිළිබඳ සාකච්ඡා කෙරිණි.
ඇෂ්ගේ විග්රහයට අනුව, යුක්රේනයේ අනාගතය තීරණය කිරීමේදී යුක්රේනය සහ යුරෝපය පසෙකලා තමන්, ෂී ජින්පිං සහ ට්‍රම්ප් එක්ව තීරණ ගැනීමේ තත්ත්වයක් නිර්මාණය කරගැනීම පුටින්ගේ අපේක්ෂාව විය හැකිය.
අද පැවැත්වෙන සාකච්ඡාවලදී ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය සම්බන්ධයෙන් චීනය තමන් මධ්‍යස්ථ ස්ථාවරයක සිටින බව ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, රුසියාවට හමුදාමය කටයුතු සඳහා අවශ්‍ය කොටස් සැපයීම සහ රුසියානු තෙල් හා ගෑස් මිලදී ගැනීම හරහා එරට ආර්ථිකයට සහාය වීම සම්බන්ධයෙන් බීජිං පාලනයට චෝදනා එල්ල වී තිබේ.
මෙය චීනයට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සංවේදී තත්ත්වයකි. පුටින් සමඟ පවතින සමීප සබඳතාව චීනයේ යුරෝපා සබඳතාවලට අහිතකර ලෙස බලපෑ හැකි අතර, අනෙක් අතට රුසියාව දුර්වල වීම හෝ එහි පාලන ස්ථාවරත්වයට තර්ජනයක් ඇතිවීම චීනයට ද බලපෑම් ඇති කළ හැකිය.
රුසියාව සහ චීනය අතර බලශක්ති වෙළෙඳාම ද සාකච්ඡාවල වැදගත් මාතෘකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම මොංගෝලියාව හරහා රුසියාවෙන් චීනයට ස්වාභාවික ගෑස් ප්‍රවාහනය කිරීම සඳහා යෝජිත නව ගෑස් නළ මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යම් එකඟතාවක් හෝ නිවේදනයක් නිකුත් වේද යන්න පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
බටහිර සම්බාධක හේතුවෙන් රුසියාව සිය තෙල් හා ගෑස් අපනයන සඳහා චීන වෙළෙඳපොළ මත වැඩි වශයෙන් රඳා පවතින තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඇමෙරිකාව සමඟ ඉදිරියේදී පවත්වාගෙන යා යුතු සබඳතා සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව ද ෂී සහ පුටින් අතර අදහස් හුවමාරු කරගැනීමට ඉඩ ඇත.
ගෝලීය දේශපාලනය තුළ ඇමෙරිකාවේ බලපෑම සීමා කිරීමේ පොදු උනන්දුවක් චීනය සහ රුසියාව අතර පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම සාකච්ඡාවලදී ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ ප්‍රධාන අරමුණ වනු ඇත්තේ රුසියාව සමඟ පවතින සමීප සබඳතාව අඛණ්ඩව පවත්වාගෙන යන අතරම, රුසියාව මුහුණ දෙන ආර්ථික හා දේශපාලන ගැටලු චීනයට බරක් බවට පත්වීම වළක්වා ගැනීමයි.
ඒ අනුව, ෂී සහ පුටින් අතර අද පැවැත්වෙන සාකච්ඡා දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවල අනාගතය පමණක් නොව, යුක්රේන යුද්ධය, බලශක්ති වෙළෙඳපොළ සහ ගෝලීය බල තුලනය කෙරෙහි ද බලපෑම්ක ළ හැකි වැදගත් රාජ්‍ය තාන්ත්‍රික හමුවක් ලෙස සැලකේ.