
රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත විදෙස් රටක සිට මෙරටට ගෙන්වන ලද කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 19 වැනිදා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරමින් පවති.
එම සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, පෞද්ගලික කුරියර් සේවාවක් හරහා විදෙස් රටක සිට මෙරටට ගෙන්වන ලද බවට සැලකෙන කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 599ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 409ක් සොයාගෙන ඇත.
ඊයේ (22) වැනිදා විමර්ශන නිලධාරීන් විසින් රේගු නිලධාරීන්ගේ සහාය ඇතිව රේගු භාරයේ තිබූ එම මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.