
මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ආසන්නයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි සංදර්ශණ පැවැත් වූ තරුණයින් 22 ක් එම යතුරුපැදි සමග කඩුවෙල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින්ට හිරිහැර වන අයුරින් තරුණයින් කණ්ඩායමක් යතුරුපැදි සංදර්ශණයක් පවත්වන බවට කඩුවෙල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා සහ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා කණ්ඩායම් දෙකක් ලෙස කිසිවෙකුට පැන යාමට නොහැකි වන සේ අදාල ස්ථානය වටකර සැකකරුවන් සහ යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට මෙලෙස කටයුතු කරනු ලැබුවා. වට්ස්ඇප් සමූහයක් ඔස්සේ මෙම තරුණයින් පිරිස සම්බන්ධ වී එම ස්ථානායට පැමිණ අපරික්ෂාකාරී ලෙස මහජනතාවට පීඩාවට පත්වන අයුරින් මෙලෙස යතුරුපැදි සංදර්ශණ පවත්වා ඇති බව පොලිසිය පවසනවා. අත් අඩංගුවට ගත් යතුරුපැදි 22 අතර මෙරට ලියාපදිංචි නොකල යතුරුපැදි දෙකක් ද තිබෙන බව සඳහන්. අත් අඩංගුවට ගත් සැකකාර තරුණයින් 22 දෙදෙනාම කඩුවෙල පොලිස් බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවසෙනවා. සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇති අතර ලබන 05 වන දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. පොලිස් භාරයට ගත් යතුරුපැදි 22 මෝටර් රථ පරීක්ෂකවරයෙකු හමුවට ඉදිරිපත් කර එම යතුරුපැදි පිලිබදව වාර්තාවක් ලබා ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව කඩුවෙල පොලිසිය සඳහන් කළා.