
එන්.එස්.බී.එම්. හරිත විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් නමැති ආයතනයට සිදු කළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් සංජය මහවත්ත නමැත්තකුට නියෝග කර තිබේ.
වග උත්තරකාර සංජය මහවත්ත නමැත්තා සිදුකළ ප්‍රකාශයකින් සිය ආයතනයට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 250 බැගින් වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ එම සමාගම විසින් නඩු දෙකක් ගොනුකර තිබුණි.
ඒක පාක්ෂික නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබා දුන් අතර පැමිණිලිකාර සමාගම වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සිල්වා මහතා පෙනී සිටිමින් පැමිණිල්ල වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශයක් මගින් සාක්ෂි ඉදිරිපත් කර තිබුණි.
එම දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත සාක්ෂි තුළින් විත්තියේ හබ කිරීමකින් තොරව පැමිණිල්ල සිය නඩු නිමිත්ත සනාථ කොට ඇති බව තීන්දු කළ කොළඹ දිසා අධිකරණය අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ පැමිණිකාර සමාගමට අපහාසයක් සිදු කිරීමට විත්තිකරුට අයිතියක් නොමැති බවයි.
එමෙන්ම පැමිණිලිකාර සමාගමට කීර්තිනාමයක් පවතින බව තීන්දු කළ අධිකරණය පැමිණිල්ලට සිදුවු අපහාසය වෙනුවෙන් එක් එක් නඩුකරයට රුපියල් මිලියන 250 බැගින් රුපියල් මිලියන 500 ක් පැමිණිලිකාර සමාගමට වන්දි වශයෙන් ගෙවිය යුතු බවත් විත්තිකරුට නියෝග කරන ලදී.
එම වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් වනතුරු නෛතික පොලියද ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් විය.
ඊට අමතරව පැමිණිලිකරුට අපහාසාත්මක වන ආකාරයේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අන්තර්ගතයන් පළ කිරීම වළක්වාලමින් විත්තිකරු වෙත ඉන්ජංෂන් තහනමක් ද අධිකරණය නිකුත් කළේය.
(මූලාශ්‍ර - සති අඟ අරුණ, ලංකාදීප පුවත්පත්)