
දේශීය ආයෝජන සඳහා පවතින පරිපාලනමය බාධක ඉවත් කරමින් ආයෝජකයන්ට කාර්යක්ෂම සේවාවක් සැලසීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
විවිධ රාජ්‍ය ආයතන අතර බෙදී පවතින අනුමැති ක්‍රියාවලීන්, ආයතන අතර ප්‍රමාණවත් අභ්‍යන්තර සම්බන්ධීකරණයක් නොමැති වීම, ආයතනික බලතල අතිච්ඡාදනය වීම සහ පරිපාලනමය අකාර්යක්ෂමතා හේතුවෙන් දේශීය ආයෝජකයන්ට දැඩි අපහසුතාවලට මුහුණදීමට සිදුව ඇති බව රජය හඳුනාගෙන ඇත.
එක් ආයෝජන ව්‍යාපෘතියකට අදාළ අනුමැතීන් සහ අවශ්‍ය සේවා රාජ්‍ය ආයතන කිහිපයක් අතර බෙදී පැවතීම ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ප්‍රධාන බාධකයක් වී තිබෙනවා.
විශේෂයෙන්ම ව්‍යාපෘති සංවර්ධනය සඳහා ඉඩම් වෙන්කරවා ගැනීම, පාරිසරික අනුමැතීන් සහ නියාමන බලපත්‍ර ලබාගැනීම, විදුලි සම්බන්ධතා ලබාගැනීම, ජල සම්පාදන පහසුකම් ලබාගැනීම මෙන්ම බැංකු හා මූල්‍ය පහසුකම් සලසා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් ආයෝජකයන් අපහසුතාවට හා අධෛර්යයට පත්වන තත්ත්වයක් පවතින බවද අනාවරණය වී ඇත.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන දේශීය ව්‍යවසායකයන්ට අවශ්‍ය මගපෙන්වීම හා සම්බන්ධීකරණය ලබාදීම සඳහා තනි සම්බන්ධීකරණ ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සැලසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමටත්, ආයෝජන සඳහා පවතින පරිපාලන බාධක ඉවත් කරමින් කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රතිපත්ති ප්රශස්ත කිරීම සඳහා ඉහළ අධිකාරීත්වයක් සහිතව එම මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
නව මධ්‍යස්ථානය හරහා රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ආයෝජන අනුමැති ක්‍රියාවලිය සරල හා කඩිනම් කිරීම මගින් රට තුළ ව්‍යාපාර ආරම්භ කිරීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව වී තිබෙනවා.