
ඇමෙරිකාව සහ ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ඇණහිට ඇති පසුබිමක, තවත් ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන යුද නෞකාවක් මැදපෙරදිග කලාපයට පැමිණ තිබේ.
ඒ අනුව, USS Theodore Roosevelt නෞකාව කලාපයට පැමිණීමත් සමඟ ඇමෙරිකානු මධ්‍යම අණදෙන කලාපය (CENTCOM) යටතේ මෙහෙයුම්වල නිරත ගුවන් යානා ප්‍රවාහන යුද නෞකා සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇත.
USS George Washington සහ USS George H. W. Bush අනෙක් නෞකා දෙක මීට පෙර මැදපෙරදිග කලාපයේ ස්ථාන ගත කොට තිබුණි.
පුද්ගලයන් 5,000කට අධික පිරිසකට සේවය කළ හැකි USS Theodore Roosevelt නෞකාවට ප්‍රහාරක ගුවන් යානා ඇතුළු ගුවන් යානා 60කට වැඩි සංඛ්‍යාවක් රැගෙන යා හැකිය.
මේ අතර, මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු හමුදා ශක්තිය තවදුරටත් ඉහළ නැංවීම සඳහා අතිරේක නාවික සහ මැරීන් භට පිරිස් ද යොදවා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ ඉරානයට එරෙහිව යළිත් මහා පරිමාණ හමුදා ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඉතා අඩු බවයි.
එහෙත් අවශ්‍ය වුවහොත් ක්‍රියාත්මක වීමට ඇමෙරිකානු හමුදා සූදානමින් සිටින බව ද ඔහු අවධාරණය කර තිබේ.
මේ අතර, ඇමෙරිකාව පළමුව ප්‍රහාරයක් එල්ල කළහොත් බලා සිටීමට ඉරානය සූදානම් නොමැති බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාබාඩි අනතුරු අඟවා ඇත.
ඉරානය යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි අතර ඇමෙරිකානු නාවික අවහිරතා සහ සම්බාධක ඉවත් කිරීම, අත්හිටුවා ඇති අරමුදල් නිදහස් කිරීම සහ සියලු යුද පෙරමුණුවල සටන් අවසන් කිරීම ඇතුළත් වේ.
පාකිස්තානය සහ කටාර් රාජ්‍යය මැදිහත්ව දෙපාර්ශ්වය අතර සාකච්ඡා ඉදිරියට ගෙන යාමට උත්සාහ කළ ද මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නැත.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ යුද නෞකා යෙදවීම ඇමෙරිකාවේ හමුදාමය සූදානම ඉහළ නැංවීමක් වුවද, එය පමණක් යළි යුද්ධය ආරම්භ වන බවට නිශ්චිත සාක්ෂියක් නොවන බවයි.
කෙසේ වෙතත්, රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අසාර්ථක වුවහොත් මැදපෙරදිග කලාපය යළිත් දරුණු යුද ගැටුමකට ඇදවැටීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීම් පළවෙමින් තිබේ.