
XIV වන ලියෝ පාප් වහන්සේ ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අතිශය දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්, ට්‍රම්ප් සෘජුවම ප්‍රකාශ කර ඇත්තේ, ලියෝ පාප් වහන්සේ වතිකානුවේ සිටින්නේ තමන් අමෙරිකාවේ ජනාධිපති වන නිසා බවයි.
පසුගියදා පකිස්ථානයේදී පැවැති ඇමෙරිකා - ඉරාන සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු, ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකාව අනුගමනය කරන දැඩි මිලිටරි ක්‍රියාමාර්ග පාප් වහන්සේ විසින් වක්‍රව විවේචනය කිරීම මෙම ගැටුමට මුල් වී ඇත.
යුද්ධයට වඩා සාමය අගය කළ යුතු බවට උන්වහන්සේ කළ ප්‍රකාශය හමුවේ ජනාධිපති ට්‍රම්ප් මෙලෙස සිය කෝපය පළ කර තිබේ.
සිය සටහනින්, ලියෝ පාප් වහන්සේ අපරාධ සහ න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන් "දුර්වල" ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ට්‍රම්ප් චෝදනා කර තිබේ.
එමෙන්ම පාප් වහන්සේ "අන්තවාදී වාමාංශිකයන්ට" සහය දක්වන බවත්, දේශපාලනඥයෙකු නොවී ආගමික නායකයෙකු ලෙස කටයුතු කළ යුතු බවටත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
පාප් වහන්සේට එම ධුරය ලැබුණේ තමා සමඟ ගනුදෙනු කිරීමට ඇමෙරිකානුවෙකු පත් කිරීමේ අවශ්‍යතාවය පල්ලියට තිබූ නිසා බව ද ට්‍රම්ප් සඳහන් කර ඇත.
''ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබීම සුදුසු යැයි සිතන පාප් වහන්සේ කෙනෙක් මට අවශ්‍ය නැහැ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාව විවේචනය කරන පාප් වහන්සේ කෙනෙක් මට අවශ්‍ය නැහැ. මම කරන්නේ මට පැවරුණු රාජකාරියයි. එනම් අපරාධ වාර්තාගත ලෙස අඩු කිරීම සහ ඉතිහාසයේ ශක්තිමත්ම කොටස් වෙළෙඳපොළ නිර්මාණය කිරීමයි.
ලියෝ ස්තූතිවන්ත විය යුතුයි, මොකද හැමෝම දන්නා පරිදි ඔහු පාප් ධුරයට පත්වීම පුදුමයක් වුණා. ඔහු පාප් ධුරය සඳහා වූ කිසිදු ලැයිස්තුවක හිටියේ නැහැ. ඔහුව එතනට පත් කළේ ඔහු ඇමෙරිකානුවෙකු වූ නිසා සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ගනුදෙනු කිරීමට හොඳම ක්‍රමය එය යැයි පල්ලිය සිතූ නිසයි.
මම ධවල මන්දිරයේ හිටියේ නැත්නම්, ලියෝ වතිකානුවේ ඉන්නේ නැහැ.
අවාසනාවකට, ලියෝ අපරාධ සම්බන්ධයෙන් සහ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් දක්වන දුර්වල ප්‍රතිපත්තිය මට රුස්සන්නේ නැහැ.
ලියෝ, පාප් වහන්සේ ලෙස නිසි ලෙස කටයුතු කළ යුතුයි. අන්තවාදී වාමාංශිකයන්ට උදව් කිරීම නතර කර, දේශපාලනඥයෙකු නොවී ශ්‍රේෂ්ඨ පාප් වහන්සේ කෙනෙකු වීමට අවධානය යොමු කළ යුතුයි.''
