
එක්සත් ජනපද හමුදාව ඉරානයේ ඉලක්ක වෙත ඊයේ (17) 6 වන රාත්‍රියටත් ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද මධ්‍යම හමුදා අණදෙන මූලස්ථානය (CENTCOM) පවසනවා. අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා, ඩ්‍රෝන යානා සහ යුද නෞකා යොදා ගෙන ඉරානයේ වෙරළ නිරීක්ෂණ මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක පද්ධති, සැපයුම් යටිතල පහසුකම් සහ නාවික පහසුකම් ඇතුළු හමුදා ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද මධ්‍යම හමුදා අණදෙන මූලස්ථානය සඳහන් කරනවා. ගිනිකොණ දිග ඉරානයේ චාබහාර් (Chabahar) වරායේ පිහිටි නාවික පාලන කුළුණ අද (17) දිනයේ තුන්වන වරටත් ඉලක්ක වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා. සමාජ මාධ්‍ය සහ ඉරාන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ඡායාරූප අනුව එම පාලන කුළුණ සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත. මෙම නාවික පාලන කුළුණ වරායට පැමිණෙන සහ පිටවන නෞකා ආරක්ෂිතව මඟ පෙන්වීම, වරාය ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සහ සෙවීමේ හා ගලවා ගැනීමේ (Search and Rescue) මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීම සඳහා ඉතා වැදගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද මධ්‍යම හමුදා අණදෙන කාර්යාලය (CENTCOM) ප්‍රකාශ කළේ, ඉරානයේ හමුදා ශක්තිය තවදුරටත් දුර්වල කිරීමේ අරමුණින් මෙම ප්‍රහාර මාලාව දියත් කළ බවයි. කෙසේ වෙතත් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ප්‍රහාර හේතුවෙන් සිවිල් යටිතල පහසුකම් රැසකටද හානි සිදුව ඇති බවයි. පාලම්, දුම්රිය ස්ථානයක් සහ ගුවන් තොටුපොළක් ප්‍රහාර වල ඉලක්කය වු බව එම වාර්තාවල සඳහන්.