
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) අනිවාර්ය ප්‍රමිති සහතික ලාංඡනය (SLS) නොමැති විදුලි දිගු රැහැන් (Extension Cords) අලෙවි කිරීම, අවම වගකීම් කාලයක් ලබා නොදීම සහ සැපයුම්කරුවන්ගේ නීත්‍යානුකූල බිල්පත් නොමැතිව භාණ්ඩ අලෙවියට තැබීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල, බදුල්ල පාරේ පිහිටි CIB Shopping Centre (Vijaya Sri Group Pvt Ltd) ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා 04ක් යටතේ නඩු පවරන ලදී.
2026.08.28 දින සිදුකළ වැටලීමේදී, 2017.12.07 දිනැති අංක 2048/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ අංක 63 දරන විධානය උල්ලංඝනය කරමින් SLS සලකුණ නොමැති විදුලි දිගු රැහැන් රු. 2,790/-කට අලෙවි කිරීම අනාවරණය විය.
අධිකරණය හමුවේ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව, විත්තිකාර සමාගමට රු. 400,000/-ක (රුපියල් ලක්ෂ හතරක) දඩයක් නියම කෙරිණි.
අංක 63 දරන විධානය අනුව අනිවාර්ය SLS ප්‍රමිති සහතිකය තිබිය යුතු, වෝල්ට් 250 නොඉක්මවන විදුලි උපාංග අතර: • පේනු (Plugs) – SLS 734: Part 1 • සොකට් පිටවන් (Socket Outlets) – SLS 734: Part 2 • විදුලි දිගු රැහැන් (Extension Cords) – SLS 734: Part 2 • ඇඩප්ටර (Adaptors) – SLS 734: Part 3 • විලායක සහිත සම්බන්ධීකාරක ඒකක (Fused Connection Units) – SLS 734: Part 4 • පරිවර්තක පේනු (Conversion Plugs) – SLS 734: Part 5 • කේබල් රීල් (Cable Reels) – SLS 1532
🛡️ විදුලි අනතුරු හා ගිනිගැනීම් වළක්වා ගැනීමට, මෙවැනි විදුලි උපාංග මිලදී ගැනීමේදී SLS ප්‍රමිති ලාංඡනය සහ වගකීම් කාලය පරීක්ෂා කර, නීත්‍යානුකූල බිල්පතක් ලබාගැනීමට සැලකිලිමත් වන්න.
📞 මෙවැනි අක්‍රමිකතා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන්න.