
මැතිවරණ කොමිසමේ ප්රධානියා ඉල්ලා අස්වන ලෙසත් ඉල්ලයි
ඉන්දියාවේ තරුණ පරපුර මූලික කරගත් ‘කොක්රෝච් ජන්තා පක්ෂය’ (Cockroach Janta Party – CJP) යළිත් විරෝධතා මාලාවකට සූදානම් වෙමින් සිටි.
මෙවර ඔවුන්ගේ ප්රධාන ඉල්ලීම් වී ඇත්තේ මැතිවරණ ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම සහ ප්රධාන මැතිවරණ කොමසාරිස් ග්යාණේෂ් කුමාර් මහතා ඉල්ලා අස්වීමයි.
අන්තර්ජාලය ඔස්සේ උපහාසාත්මක ව්යාපාරයක් ලෙස ආරම්භ වූ මෙම කණ්ඩායම, පසුගිය ජූලි මාසයේදී අධ්යාපන ප්රතිසංස්කරණ ඉල්ලා සති කිහිපයක් පුරා පැවති විරෝධතා හේතුවෙන් එවකට අධ්යාපන අමාත්ය ධර්මේන්ද්ර ප්රධාන් මහතාට ඉල්ලා අස්වීමට සිදුවූ බවට ප්රකාශ කර තිබේ.
CJP සංවිධායකයන් සිය ආධාරකරුවන්ට අද (සිකුරාදා) පස්වරු 4.00ට මුම්බායි නගරයේ ශිවාජි උද්යානයට රැස්වන ලෙස දැනුම් දී තිබේ.
ඔවුන් පවසන්නේ මෙම විරෝධතාවේ අරමුණ “ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම” සහ ප්රධාන මැතිවරණ කොමසාරිස් ග්යාණේෂ් කුමාර් මහතා ඉවත් කිරීම බවයි.
මැතිවරණ කොමිසම හෝ ප්රධාන මැතිවරණ කොමසාරිස්වරයා CJP සංවිධානය හෝ විපක්ෂ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලා අස්වීමේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් ප්රතිචාර දක්වා නොමැත.
ඡන්ද නාමලේඛන වෙනස් කිරීම හෝ මැතිවරණ වංචා සම්බන්ධයෙන් එල්ල වන චෝදනාද ඔවුන් ප්රතික්ෂේප කර හෝ පිළිගෙන ඇති බවක් මෙතෙක් වාර්තා වී නොමැත.
CJP සංවිධානයට ඉන්ස්ටග්රෑම් සමාජ මාධ්ය ජාලයේ අනුගාමිකයන් මිලියන 25කට අධික පිරිසක් සිටින අතර, X සමාජ මාධ්ය ජාලයේ අනුගාමිකයන් 400,000කට අධික පිරිසක් සිටිති.
එම සමාජ මාධ්ය ගිණුම් ඔස්සේ පසුගිය දින කිහිපය තුළ විරෝධතාවට විශාල පිරිසක් එක්කර ගන්නා ලෙස වීඩියෝ, පෝස්ටර් සහ පණිවිඩ රැසක් පළ කර තිබේ.
මුම්බායි විරෝධතාව රට පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතා මාලාවේ පළමු අදියර බව CJP සංවිධානය පවසයි.
ඔක්තෝබර් මාසය පුරා විවිධ ප්රදේශවල විරෝධතා පැවැත්වීමෙන් අනතුරුව නවදිල්ලියේදී දැවැන්ත රැලියක් පැවැත්වීමටද සැලසුම් කර ඇති බව එම සංවිධානය සඳහන් කරයි.
කෙසේ වෙතත්, මුම්බායි පොලිසිය විසින් විරෝධතාව සඳහා අවසර ලබා නොදුන් බව CJP සංවිධායකයෝ පවසති.
විශාල ජනකායක් එක්වනු ඇතැයි අපේක්ෂා කිරීම හේතුවෙන් නගරයේ ආරක්ෂාවද දැඩි කර ඇති බව වාර්තා වේ.
මහාරාෂ්ට්ර ප්රාන්තයේ ප්රධාන විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක්ද මෙම විරෝධතාවට සහාය පළ කර තිබේ.
මෙම විරෝධතා සඳහා කැඳවීම සිදුකර ඇත්තේ ඡන්ද නාමලේඛන සංශෝධනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම තුළ මතභේද පවතින බවට පළ වූ වාර්තා පසුබිම් කරගෙනය.
‘ද ඉන්ඩියන් එක්ස්ප්රස්’ පුවත්පත පසුගිය සතියේ වාර්තා කළේ, මැතිවරණ කොමසාරිස්වරුන් වන සුක්බීර් සිං සන්ධු සහ විවේක් ජෝෂි යන මහත්වරුන් මාස 10ක කාලයක් තුළ අවම වශයෙන් අවස්ථා 14කදී තමන්ගේ දැනුවත්භාවයකින් තොරව තීරණ හා නියෝග නිකුත් කළ බවට විරෝධය පළ කර ඇති බවයි.
මෙම මතභේද බොහෝ දුරට සම්බන්ධ වී ඇත්තේ ඉන්දියාවේ ඡන්ද නාමලේඛනවල සිදුකරන ‘විශේෂ දැඩි සංශෝධනය’ (Special Intensive Revision – SIR) නමැති ක්රියාවලියට බව වාර්තා වේ.
මැතිවරණ කොමිසම පවසන්නේ මෙම ක්රියාවලියේ අරමුණ ඡන්ද නාමලේඛනවල පවතින අනුපිටපත් සහ සුදුසුකම් නොමැති නම් ඉවත් කිරීම බවයි.
මේ වනවිට ඡන්ද නාමලේඛනයෙන් නම් මිලියන 130ක් පමණ ඉවත් කර ඇති බවද වාර්තා වේ.
එහෙත් විපක්ෂ දේශපාලන පක්ෂ සහ ක්රියාකාරීන් චෝදනා කරන්නේ, ඡන්දය භාවිත කිරීමට නීත්යානුකූලව සුදුසුකම් ඇති පුද්ගලයන්ගේ නම්ද එම ක්රියාවලිය හරහා ඉවත් කර ඇති බවත්, එය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) වාසි වන ආකාරයෙන් මැතිවරණවලට බලපෑම් කිරීමේ ක්රියාවලියක් විය හැකි බවත්ය.
කෙසේ වෙතත්, BJP පක්ෂය සහ මැතිවරණ කොමිසම එම චෝදනා ප්රතික්ෂේප කර තිබේ.
‘ද ඉන්ඩියන් එක්ස්ප්රස්’ වාර්තාවට අනුව, මැතිවරණ කොමසාරිස්වරුන් දෙදෙනා ඡන්ද දත්ත පද්ධතියේ විශ්වසනීයත්වය, නව ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ ක්රමවේදයේ වෙනස්කම් සහ ඡන්ද නාමලේඛනවල ආරක්ෂාව සම්බන්ධයෙන්ද ප්රශ්න මතුකර තිබේ.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ප්රකාශ කර ඇත්තේ තීරණ ගැනීමේ ක්රියාවලියේදී “විවිධ අදහස්” පැවතීම සාමාන්ය දෙයක් බවත්, අවසාන තීරණ සියල්ල ඒකමතිකව ගත් බවත්ය.
මේ අතර, මෙම වාර්තා හේතුවෙන් ඉන්දියාවේ දේශපාලන ක්ෂේත්රය තුළ දැඩි ආන්දෝලනයක් ඇතිව තිබේ.
විපක්ෂ නායක සහ කොංග්රස් පක්ෂයේ ජ්යෙෂ්ඨ නායක රාහුල් ගාන්ධි මහතා මැතිවරණ කොමිසම විපක්ෂයේ ඡන්ද “සොරකම් කරන” බවට අවස්ථා කිහිපයකදී චෝදනා කර තිබේ.
තවත් විපක්ෂ නායිකාවක වන මමතා බැනර්ජි මහත්මියද ප්රධාන මැතිවරණ කොමසාරිස්වරයා අත්අඩංගුවට ගත යුතු බවට ඉල්ලීමක් කර තිබේ.
කොංග්රසය ඇතුළු පක්ෂ රැසකින් සමන්විත ‘ඉන්ඩියා’ විපක්ෂ සන්ධානයද ඉදිරි දිනවලදී රට පුරා විරෝධතා රැලි පැවැත්වීමට තීරණය කර තිබේ.
ඔක්තෝබර් 6 වැනිදා විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් නවදිල්ලියේ මැතිවරණ කොමිසම් කාර්යාලය වෙත පාගමනින් යාමටද සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මුම්බායි පොලිසිය විරෝධතාවට අවසර ලබා නොදුන්නද, CJP සංවිධායක දීප්කේ මහතා විරෝධතාව පැවැත්වීමට තමන් සූදානම් බව ප්රකාශ කර තිබේ.
පොලිසිය තමන් අත්අඩංගුවට ගන්නේ නම් “ජේල් භරෝ ආන්දෝලන්” (Jail Bharo Andolan – සිරගෙවල්පි රවීමේ ව්යාපාරය) ආරම්භ කරන බවද ඔහු සඳහන් කර ඇත.
CJP සංවිධානය සමාජ මාධ්ය ඔස්සේ නිකුත් කළ කෙටි සජීවිකරණ වීඩියෝවක සඳහන් කර ඇත්තේ ඡන්දය භාවිත කිරීම පුරවැසියෙකුගේ අයිතියක් බවත්, ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ඇති සෑම පුද්ගලයෙකුට එම අයිතිය අහිමි කිරීම ප්රජාතන්ත්රවාදය තුළ බරපතළ කරුණක් බවත්ය.
“මෙය එක් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කරන සටනක් නොවේ... එය නිදහස් හා සාධාරණ මැතිවරණ සහ සෑම පුරවැසියෙකුගේම ඡන්ද අයිතිය වෙනුවෙන් කරන සටනකි,” යනුවෙන් CJP සංවිධානය ප්රකාශ කර තිබේ.