
ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබූ Flydubai ගුවන් යානයකදී ප්රධාන ගුවන් නියමුවාට ප්රහාරයක් එල්ල කළ බවට සැක කෙරෙන ගුවන් නියමුවා, ඔහුගේ අන්තවාදී අදහස් සම්බන්ධයෙන් ඇති වූ ගැටලු හේතුවෙන් මීට පෙර සේවය කළ ඕමානයේ ජාතික ගුවන් සේවය වන Oman Air ආයතනයෙන් ඉවත් කර ඇති බව සිද්ධිය පිළිබඳ දැනුවත් මූලාශ්ර දෙකක් උපුටා දක්වමින් CNN වාර්තා කොට තිබේ.
එම මූලාශ්ර සහ ඊශ්රායල නිලධාරියෙකු පවසන පරිදි සැකකරු ඕමාන ජාතිකයෙකු වන හමාම් අල්-හම්මාමි (Hamam al-Hammami) ය.
සෞදි රාජ්ය මාධ්ය ද ඔහුගේ අනන්යතාව එලෙසම සඳහන් කර තිබේ.
අල්-හම්මාමි එක්සත් අරාබි එමීර් රාජ්යයේ උපත ලබා ඇති අතර, ඔහුගේ පියා ඕමාන ජාතිකයෙකු වන අතර මව සිරියානු ජාතික කාන්තාවක් බව එක් මූලාශ්රයක් සඳහන් කළේය.
ඔහු සිය ජීවිතයේ වසර කිහිපයක් එක්සත් අරාබි එමීර් රාජ්යයේ ගත කර ඇති බවද එම මූලාශ්රය පැවසීය.
ඔහුගේ නමින් තිබූ LinkedIn ගිණුමක සඳහන් වූයේ අල්-හම්මාමි වසර හතක් Oman Air හි සේවය කර ඇති බවත්, 2025 පෙබරවාරි මාසයේදී එම සේවයෙන් ඉවත් වී ඇති බවත්ය.
ඉන්පසුව 2025 ජුනි මාසයේදී Royal Air Maroc ගුවන් සේවයට එක්වී, 2026 ජනවාරි මාසයේදී එම සේවයෙන්ද ඉවත් වී තිබේ.
එම LinkedIn ගිණුමේ Flydubai සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොතිබුණද, එම ගිණුම සිද්ධියට සම්බන්ධ Flydubai ගුවන් නියමුවාගේ බව එක් මූලාශ්රයක් තහවුරු කර තිබේ.
මේ වන විට එම LinkedIn ගිණුම මකා දමා ඇති අතර, CNN විසින් ඒ සම්බන්ධයෙන් LinkedIn වෙතින් ප්රතිචාරයක් ඉල්ලා ඇත.
අන්තවාදී අදහස් හේතුවෙන් පුහුණුවෙන් ඉවත් කර තිබූ බවට තොරතුරු
ප්රාදේශීය රාජ්ය තාන්ත්රිකයෙකු වන දෙවන මූලාශ්රය CNN වෙත පවසා ඇත්තේ, අල්-හම්මාමිගේ “අන්තවාදී අදහස්” පිළිබඳ ඇති වූ ගැටලු හේතුවෙන් ඔහු ගුවන් නියමු පුහුණුවෙන් ඉවත් කර, Oman Air හි වෙනත් රාජකාරියකට යොමු කර තිබූ බවයි.
ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු ප්රකාශ කර ඇත්තේ සැකකරු “ඉස්ලාමීය අන්තවාදී මතවාදයකට යොමු කරනු ලැබ තිබූ” බවට විශ්වාස කරන බවයි.
ඊශ්රායල නිලධාරියෙකු CNN වෙත පැවසුවේ අල්-හම්මාමි Flydubai ගුවන් සේවයේ සේවය කර ඇත්තේ මාස අටක් පමණක් බවයි.
තවත් මූලාශ්රයකට අනුව ඔහු මීට පෙර Royal Air Maroc ගුවන් සේවයේද සේවය කර තිබේ.
මෙම තොරතුරු මතුවීමත් සමඟ ගුවන් සේවා ක්ෂේත්රයේ සේවකයන් බඳවා ගැනීමේදී සිදුකරන පසුබිම් පරීක්ෂාවන් පිළිබඳවද ප්රශ්න මතුව තිබේ.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් වන තුරු අදහස් දැක්විය නොහැකි බව Flydubai ප්රකාශ කර තිබේ.
සමාජ මාධ්යවල තර්ජනාත්මක හා ත්රස්තවාදී රූප
අල්-හම්මාමිගේ LinkedIn ගිණුමේ බදාදා පළ කර තිබුණේ සටහන් දෙකක් පමණි. ඒවා සිද්ධියෙන් පැය නවයකට පමණ පසු කෙටි කාල පරාසයක් තුළ පළ කර තිබුණි.
කෙසේ වෙතත්, එම සටහන් කවුරුන් විසින් පළ කළේද, නැතහොත් ඒවා කලින් සැලසුම් කර ස්වයංක්රීයව පළ වූයේද යන්න පැහැදිලි නැත.
පළමු සටහනේ Boeing 737 Max ගුවන් යානයක නියමු කුටියේ සිට රූගත කළ වීඩියෝ දර්ශන කිහිපයක් ඇතුළත් විය.
බදාදා සිද්ධියෙන් පසු සෞදි අරාබියට හරවා යැවුණු Flydubai ගුවන් යානයද Boeing 737 Max 8 වර්ගයේ ගුවන් යානයකි.
CNN සිදු කළ භූගෝලීය තහවුරු කිරීමකට අනුව එම වීඩියෝවේ එක් කොටසක් ඩුබායි ජාත්යන්තර ගුවන් තොටුපළ ලෙස හඳුනාගෙන තිබේ.
එහිදී වීඩියෝව රූගත කරන පුද්ගලයා ඊශ්රායලයේ El Al ගුවන් සේවයට අයත් ගුවන් යානයක් විශාල කර පෙන්වයි.
වීඩියෝවේ අනෙකුත් කොටස්වලද El Al ගුවන් සේවයට අයත් තවත් ගුවන් යානා මෙන්ම ඊශ්රායලයේ තවත් ගුවන් සේවයක් වන Arkia ගුවන් යානයක්ද දැකගත හැකිය.
වීඩියෝව අවසානයේ, ඔසාමා බින් ලාඩන්ගේ මරණයෙන් පසු අල්-කයිඩා සංවිධානයේ නායකත්වයට පත්වූ අයිමාන් අල්-සවාහිරිගේ ඡායාරූපයක්ද පෙන්වයි.
එමෙන්ම 2009 වසරේදී පුද්ගලයන් නවදෙනෙකු මියගිය මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කළ හුමාම් කලීල් අබු-මුලාල් අල්-බලාවිගේ ඡායාරූපයක්ද එහි ඇතුළත් විය.
එම ප්රහාරයෙන් එක්සත් ජනපද CIA නිලධාරීන් සහ කොන්ත්රාත්කරුවන් හත්දෙනෙකු මියගිය අතර, අල්-බලාවි අල්-කයිඩා සංවිධානයට පක්ෂපාතී පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබුණි.
දෙවන සටහනේ ඉස්ලාමීය ආගමට අතිශය පූජනීය ස්ථාන තුනක් වන මක්කම, මදීනා සහ ජෙරුසලම එකිනෙකට සම්බන්ධ කරමින් දිලිසෙන ආලෝක රේඛාවක් දැක්වෙන කෘත්රිම බුද්ධිය මගින් නිර්මාණය කළ රූපයක් ඇතුළත් විය.
එහි පසුබිමින් ඇසෙන කවියකින් අවමානය ප්රතික්ෂේප කිරීම, මරණයට බිය නොවීම සහ තම ගෞරවය ආරක්ෂා කිරීම පිළිබඳ අදහස් ප්රකාශ කර තිබුණි.
අධ්යාපනික පසුබිම
අල්-හම්මාමිගේ LinkedIn ගිණුමේ සඳහන් වූයේ ඔහු එංගලන්තයේ Buckinghamshire New University හි අධ්යාපනය ලබා ඇති බවයි.
විශ්වවිද්යාලයේ මූලාශ්රයක් CNN වෙත තහවුරු කර ඇත්තේ එම නමින් පුද්ගලයෙකු වසර තුනක දුරස්ථ අධ්යයන පාඨමාලාවක් සම්පූර්ණ කර 2023 වසරේදී ගුවන් සේවා කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා ඇති බවයි.
එම LinkedIn වීඩියෝ දෙකම සමාන නමක් සහ ඡායාරූප භාවිත කළ Instagram ගිණුමකද එම කාලසීමාවේ පළ කර තිබූ අතර, පසුව එම Instagram ගිණුමද මකා දමා තිබේ.
කාන්තාවන් සහ මිශ්ර ලිංගික සේවා පරිසරයන් පිළිබඳ අදහස්
CNN විසින් අල්-හම්මාමිගේ මකා දැමූ Twitter ගිණුම පිළිබඳ සිදු කළ විශ්ලේෂණයකදී, ඔහු දැඩි ආගමික අදහස් සහ කාන්තාවන් සම්බන්ධයෙන් දැඩි මත දරමින් සිටි බවට පෙනී ගිය බව සඳහන් කරයි.
2022 පෙබරවාරි මාසයේ පළ කර තිබූ මකා දැමූ සටහනක ඔහු සඳහන් කර තිබුණේ, තමන්ගේ අනාගත බිරිඳට නික්කාබ් පැළඳීමටත්, විවාහයෙන් පසු රැකියාවක නිරත නොවීමටත් තමන් අවශ්යතා ඉදිරිපත් කළ බවයි.
එම කොන්දේසි පිළිගැනීමට බොහෝ කාන්තාවන් අකමැති වූ බවත්, තම මව “මගේ පුතා ගුවන් නියමුවෙක්” යනුවෙන් පැවසූ විට ඔවුන්ගේ ප්රතිචාරය වෙනස් වූ බවත් ඔහු එම සටහනේ සඳහන් කර තිබුණි.
2022 ජනවාරි මාසයේ තවත් සටහනක ඔහු මිශ්ර ලිංගික සේවා ස්ථාන පිළිබඳව අදහස් පළ කරමින්, එවැනි සේවා පරිසරයන් කාන්තාවන්ගේ හැසිරීම් හා ආකල්ප කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කරන බවට අදහස් දක්වා තිබුණි.
CNN පවසන්නේ 2021 සහ 2022 අතර කාලය තුළ පළ කර පසුව මකා දැමූ ට්විටර් සටහන් 3,000කට ආසන්න සංඛ්යාවක් කෘත්රිම බුද්ධිය මත පදනම් වූ අර්ථ විශ්ලේෂණ පද්ධතියක් භාවිත කර පරීක්ෂා කර වර්ගීකරණය කළ බවයි.
සිද්ධිය පිළිබඳ ත්රස්තවාදී සම්බන්ධතා විමර්ශනය
ඊශ්රායලය පිළිගන්නේ නැති ඕමානයේ පුරවැසියෙකුට ටෙල් අවිව් බලා යන ගුවන් යානයක ගුවන් නියමුවෙකු ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබුණේ කෙසේද යන්න පිළිබඳවද ප්රශ්න මතුව තිබේ.
ඊශ්රායල නිලධාරියෙකු CNN වෙත පැවසුවේ, අල්-හම්මාමි එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට ඇතුළත් වූ ආකාරය සම්බන්ධයෙන් ඊශ්රායල ආරක්ෂක හා බුද්ධි අංශ කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
ඒ අතර Shin Bet, Mossad, ඊශ්රායල හමුදාව සහ ප්රවාහන අමාත්යාංශයද ඇතුළත් වේ.
එක්සත් අරාබි එමීර් රාජ්යයේ නීතිපති හමාඩ් සයිෆ් අල්-ෂම්සි සෙනසුරාදා ප්රකාශ කර ඇති පරිදි, සැකකරු සිය සහකාර ගුවන් නියමුවාට ප්රහාරයක් එල්ල කිරීමට ගුවන් යානය තුළ තිබූ crash axe එකක් භාවිත කිරීමට උත්සාහ කර ඇති අතර, ගුවන් යානයේ පාලනය ලබා ගැනීමටද උත්සාහ කර තිබේ.
එම සිද්ධිය “ත්රස්තවාදී ක්රියාවක්” සිදුකිරීමට කළ උත්සාහයක් ලෙස විමර්ශනය කෙරෙමින් පවතී.
ගුවන් යානය එක්සත් අරාබි එමීර් රාජ්යයේ ලියාපදිංචි කර ඇති බැවින්, එම යානයේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් එරට නීතිය යටතේ පරීක්ෂණ පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්යයට බලය ඇති බව රාජ්ය පුවත් ඒජන්සිය වන WAM සඳහන් කරයි.
සිද්ධියෙන් පසු ගුවන් යානය සෞදි අරාබියට හරවා යැවුණු අතර, එහිදී සැකකරුගෙන් ප්රශ්න කිරීම් සිදුකර තිබේ.
ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු CNN හි ජිම් ස්කියුටෝ සමඟ පැවති සාකච්ඡාවකදී පවසා තිබුණේ සැකකරු සෞදි අරාබියේදී ප්රශ්න කර ඇති බවත්, එම විමර්ශනයට ඊශ්රායලයද සම්බන්ධ වී ඇති බවත්ය.
ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් සමඟ තමන් මේ පිළිබඳව සාකච්ඡා කළ බවත්, ඊශ්රායලයට ප්රශ්න කිරීම් සඳහා සම්බන්ධ වීමට ඔහු එකඟ වූ බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතින අතර, සැකකරුගේ සමාජ මාධ්ය ක්රියාකාරකම්, පෙර සේවා වාර්තාව සහ ඔහුට ඇති විය හැකි අන්තවාදී හෝ ත්රස්තවාදී සම්බන්ධතා පිළිබඳව අදාළ බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.