
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 16කට අධික කාලයක් තමා රාජකාරි කළ බවත්, මෙම කාලය තුළ කිසිදු දිනයක තම පිස්තෝලය හිටපු පොලිස්පතිවරයා තමාගෙන් ඉල්ලා නැති බවත් එහෙත් මියගිය දිනයේ පමණක් පරීක්ෂා කිරීමට බව පවසා තම පිස්තෝලය සහ ඊට යොදන ජීව උණ්ඩ ඉල්ලා සිටි බවත්, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිවරයා ලෙස රාජකාරි කළ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් ඊ.එම්. ප්‍රසන්න අධිකරණය හමුවේ කියා සිටියේ ය.
ඔහු ප්‍රකාශ කළේ, හිටපු පොලිස්පතිවරයා එම පිස්තෝලයෙන් වෙඩි තබා ගත් බව ය.
සැරයන්වරයා (ජූලි 28) මේ බව පැවසුවේ, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදී මිය යාමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි ලබා දෙමිනි.කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස ඉදිරිපිටදී ය.හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මිය යාම සම්බන්ධයෙන් බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයේ මෙහෙයවීම මත සාක්ෂී දෙමින් හිටපු පොලිස්පතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී සැරයන් ඊ.එම්. ප්‍රසන්න විවෘත අධිකරණයේදී මෙසේ පැවසීය.
"මම වසර 16කට අධික දීර්ඝ කාලයක් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කරනවා, මෙම කාලය තුළ සර් (හිටපු පොලිස්පති) කිසි ම දචසක මගෙන් පිස්තෝලය කුමන හේතුවකටවත් ඉල්ලලා නැහැ. ඒ වගේ ම ව්‍යායාම කිරීමට ගිය කිසි ම දිනයක වතුර බෝතල් රැගෙන ගියේ නැහැ. වතුර බෝතල් රැගෙන යන්න කියලා මට කියලත් නැහැ. මෙම සිද්ධිය වූ දිනයේ සර් (හිටපු පොලිස්පති) ව්‍යායාම කිරීමට යාම සඳහා ව්‍යායාම කරන ඇඳුමින් සැරසී සිටියා. එහෙත් ඒ වෙලාවේ සපත්තු දාලා හිටියේ නැහැ, සාමාන්‍යයෙන් මීට පෙර නම් සර් ව්‍යායාම කිරීමට යාමට සූදානම් වෙලා සපත්තු නොදමා ඉන්නේ නැහැ, එහෙත් මෙම දවසේ සර් ව්‍යායාම කරන ඇඳුම් ඇඳගෙන සිටියත් සපත්තු දාලා හිටියේ නැහැ"එදා සර් මට කිව්වා ප්‍රසන්න ඔයාගේ පිස්තෝලය මට දෙන්නකො පරීක්ෂා කරලා බලන්න කියලා මම සර්ට පිස්තෝලය දුන්නා, හැබැයි සර්ට පතුරම් දුන්නේ නැහැ. ඊට පස්සේ සර් කිව්වා පරීක්ෂා කරලා බලන්න කෝ පතුරම් දෙන්න කියලත් කිව්වා. සර් ඉල්ලපු නිසා පතොරොම් සහිත මැගසිනයත් සර්ට දුන්නා, පිස්තෝලය යි පතුරොම් සහිත මැගසිනය යි මගෙන් ඉල්ලගෙන අතට අර ගත්තට පස්සේ සර් මට කිව්වා ප්‍රසන්න ව්‍යායාම කරන්න යන්න වතුර බෝතලයක් ගේන්න කියලා.මම වතුර බෝතලයක් ගේන්න යනවාත් සමග වෙඩි ශබ්දයක් අසුණා, ගිහින් බලනකොට සර් එතන වෙඩි වැදිලා වැටී සිටියා, ගෙදර අය සමග ඉක්මනට සර් මුල්ලේරියාව රෝහලට රැගෙන ගියා. පසුව දැන ගන්න ලැබුනා සර් මිය ගොස් ඇති බව."හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන අවස්ථාවේ හිටපු පොලිස්තිපතිවරයාගේ ආරක්ෂක නිලධාරී ප්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන් ප්‍රසන්න වරින්වර ඉතා සංවේදී වන අයුරු ද දක්නට ලැබිණ.
හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මිය යාමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ අනෙකුත් සාක්ෂි සඳහා හිටපු පොලිස්පතිවරයාගේ රියැදුරා සහ අරක්කැමියා කැඳවන ලෙස මෙහිදී බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදස විසින් හිටපු පොලිස්පතිවරයාට වෙඩි වැදුණු බවට සැක කෙරෙන පිස්තෝලය සහ ඊට යොදන ජීව උණ්ඩ සහිත මැගසිනය සහ පිස්තෝලයේ හිස් පතුරම් කොපුව රජයේ රස පරීක්ෂකරවයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසට ද නියෝග කරනු ලැබී ය.