
විනාඩි 13න් ගිලන්රථ ආවත්, නඩුවක් ඉවරවෙන්න අවුරුදු 10ක් යන රටක විශ්‍රාම වයස වෙනස් කිරීමෙන් පමණක් අධිකරණ අර්බුදය විසඳිය හැකිද?
ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ වයස් සීමාව වැඩි කිරීමට පෙර සමස්ත රාජ්‍ය සේවයේම පුළුල් ප්‍රතිසංස්කරණ සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව
ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර 02 කින් දීර්ග කිරීමට ආණ්ඩුව ඉදිරිපත් කරන්නාවූ යෝජනාව ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධානීන් මේ සතියේ දිනෙක අධිකරණ ඇමතිවරයා හමුවීමට නියමිත ය. මෙතෙක් වාර්තා වූ තොරතුරු වලට අනුව දෙපාර්ශවයම ඉන්නේ ප්‍රතිවිරුද්ධ දැඩි තීරණවලය. එනිසාම සාකච්ඡා කිරීම වැදගත් ය. නීතිඥ සංගමය කියන පරිදි ආණ්ඩුව සියලු පාර්ශව සමග ඔවුන්ගේ යෝජනාව පූර්ව සාකච්ඡාවකට තැබිය යුතුව තිබිණ. සැබෑය. මැතිවරණයේදී පොරොන්දුවූ අයුරු සමාජයට වග කියන්නාවූ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් ලෙස කළ යුතුව තිබූයේ එය ය. ආණ්ඩුව එය නොකරන බවට වූ සියලු ඇඟවීම් සමග, ආණ්ඩුව සමග සාකච්ඡා ඉල්ලා ලිපි ලියන අතරම, සමාජය දැනුවත් කිරීමේ කතිකාවක් ආරම්භ කිරීමේ වගකීම නීතිඥ සංගමයටද තිබිණ. එයද සිදු නොවුනකි.

අපගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුට සේවය කළ හැක්කේ වයස අවුරුදු 65 ක් වන තෙක් පමණි. ඉන්පසු ඇය හෝ ඔහු අනිවාර්යෙන් විශ්‍රාම ගැන්වෙන්නේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ හා ෆෙඩරල් විනිසුරුවරුන්ට විශ්‍රාම යෑමේ වයසක් නැත. ඔවුන්ගේ අභිමතය අනුව, ජීවිතාන්තය තෙක් තනතුරෙහි රාජකාරි කළ හැක. ප්‍රාන්ත 30 ක පමණ ප්‍රාන්ත විනිසුරුවරුන්ට විශ්‍රාම යෑමේ වයස් සීමා තීන්දුකර ඇත. ඒ වයස් සීමා අවුරුදු 70 සිට 75 අතර ක්‍රියාත්මක වේ. වර්තමාන ලෝකයේ මේවායින් වඩා නිවැරදි කුමක්දැයි කිසිවකු නොකියන හෙයින් මමද එය නොදනිමි.
වයස මත “විශ්‍රාම යාම” සාකච්ඡා වන්නේ 18 වන සියවස අවසන් වන කාලයේ ය. ඒ වනවිට බටහිර යුරෝපයේ වූ සමාජීය අත්දැකීම් සමගය. ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ලෙස වයස මත විශ්‍රාම යාම නීතිගත කෙරුණේත් ඒ වෙනුවෙන් සහනාධාරයක් දීම ආරම්භ කෙරෙන්නේත් ජර්මානු රාජ්‍ය නායක චාන්සල බිස්මාක් ගේ පාලනය යටතේ ය. මාක්ස්වාදී හා සමාජවාදී සංවිධාන ප්‍රචලිත වීමත් සමග වාම දේශපාලනය මට්ටු කර ගැනීමේ අවශ්‍යතාව මත දක්ෂිණාංශික අධිකාරවාදී පාලකයෙකු වූ බිස්මාක් 1881 දී වයස අවුරුදු 70 න් අනිවාර්ය විශ්‍රාම යැවීම ජර්මානු පාර්ලිමේන්තුවට (රයික්ස්ටාගය) පනතක් ඉදිරිපත් කරමින් නීතිගත කළේය. ඒ වෙනුවෙන් විශ්‍රාමික දීමනාවක්ද තීන්දු කළේය. විශ්‍රාමික දීමනාව සඳහා හාම්පුතාගෙන් සහ සේවකයාගේ වැටුපෙන් දායකත්වයක් ලබා ගත් අතර රජයද දායක විය.
ඉන්පසු බටහිර යුරෝපයේත් උතුරු ඇමෙරිකාවේත් විශ්‍රාම යෑමේ වයස ගැන සාකච්ඡා විය. ඒ වන විට බටහිර ලෝකයේ කීර්තිමත් වෛද්‍ය විශේෂඥයෙකු ලෙස පිළිගනු ලැබ සිටි සහ වෛද්‍ය පුස්තකාල පිහිටුවීමේ පුරෝගාමීයා ලෙස සැළකෙන කැනේඩියානු වෛද්‍ය විශේෂඥ විලියම් ඔස්ල 1905 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් රෝහලෙන් විශ්‍රාම යාමේදී කළ සමුගැනීමේ දේශනයෙහි “වයස්ගතවීම” ගැන කීවේ, ඔහු විශ්වාස කරන අයුරු “මනුස්සයෙකුගේ වඩාත්ම පලදායි සේවා කාලය අවුරුදු 40 දක්වා කාලයයි. 40 න් පසු 60 දක්වා ඔහු නිර්මාණාත්මක දායකත්වයක් නොදුන්නත් ශ්‍රමයෙහි වටිනාකමක් තියෙනවා. නමුත් වයස අවුරුදු 60 වන විට ඔහු විශ්‍රාම යා යුතුයි” කියා ය.
විසි වන සියවසෙහි ඇතැම් ඇමෙරිකානු හාම්පුතුන් ඔවුන්ගේ සේවකයින් විශ්‍රාම යැවීමේ කොන්දේසි හැදීමේදී විශේෂඥ වෛද්‍ය ඔස්ල කියූ අවුරුදු 60 ත් බිස්මාක් නීතිගත කළ අවුරුදු 70 ත් අතර සම්මුතියක් ලෙස අවුරුදු 65 තෝරා ගත්හ. දෙවන ලෝක යුද්ධයෙන් පසු දසකයේ විශ්‍රාම යෑම සම්බන්ධ ගෝලීය සම්මතයන් හැදුණේ වයස අවුරුදු 60 ත් 65 ත් සම්මත වයස් සීමාව ලෙස පිළිගනු ලැබීමෙනි.
නිදහස ලැබීමෙන් පසු අප 50 දසකයේ අපගේ අනපනත් නීති රෙගුලාසි සම්පාදනය කර ගැනීමේදී විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 ක් යැයි තීන්දු කරන විට, උත්පත්තියේදී ආයු කාලය ගණන් හදා තිබුණේ අවුරුදු 52 ක් වශයෙනි. ඒ අනුව වයස අවුරුදු 60 න් විශ්‍රාම යන තෙක් රැකියාව කිරීමේ ආයු කාලයක් නොවුනි. එහෙත් එදා “විශ්‍රාම යෑමෙන් පසු” ආයු කාලය ගණනය කර තිබුණේ අවුරුදු 08 - 12 ත් අතර යැයි කියා ය. විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 ක් යැයි තීන්දු කිරීම, මේ ගණන් හිලව් වලට අනුව කෙතරම් නිවැරදිද යන්න අතිශය ප්රශ්නකාරී ය. මේ අතරතුර 70 දසකයේදී රාජ්‍ය සේවාවේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 55 දක්වා අඩු කරනු ලැබිණ. එය පසුව අවුරුදු 55 න් විශ්‍රාම යාමේ සුදුසුකම් ලබන්නේ යැයිද අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 යැයිද සංශෝධනය විය. ඊළඟට අවුරුදු 55 සීමාව හලා දැමුණි.

ඒ අතර 2021 අංක 28 දරණ “සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත” මගින් පළමු වරට ශ්‍රී ලංකාවේ පෞද්ගලික ක්ෂේත්රයෙහිද විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 60 ලෙසින් නීතිගත කෙරුණි. ඊට අවුරුදු 43 ට කලින් 1978 සම්මත කෙරුණු දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 ලෙසත් අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 ලෙසත් ඊට අමතරව, 1978 අංක 02 දරණ “අධිකරණ සංවිධාන පනත” යටතේ මහාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 ලෙසත් තීන්දු කෙරෙන්නේය. විශ්‍රාම යාමේ වයසෙහි එවැනි වෙනස්කම් සඳහා පිළිගත හැකි තර්කයක් නැත. වයස අවුරුදු 61 න් විශ්‍රාම යා යුතු මහාධිකරණ විනිසුරුවරයෙකු අභියාචනාධිකරණයට උසස් කළ විට, ඔහු හෝ ඇය වයස අවුරුදු 63 වන තෙක් සේවය කිරීමට සුදුසු වන්නේය. වයස අවුරුදු 63 න් විශ්‍රාම යා යුතු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් කරනු ලැබුවහොත් වයස අවුරුදු 65 ක් වන තෙක් සේවය කිරීමට සුදුසු ය. එළෙස සුදුසුකම් ලබන්නේ කෙසේද?
එපමණක් නොවේ. වයස අවුරුදු 65 න් පසු විශ්‍රාම යා යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තීන්දු කර තිබියදී, විශ්‍රාමික විනිසුරුවන් බරපතල පරීක්ෂණ කිරීමේ වගකීම් ඇතිව ජනාධිපති කොමිසම් වලට, විශේෂ විමර්ශන කමිටු වලට පත් කරනු ලබන්නේය. එවැනි විට විශ්‍රාමික විනිසුරුවන් දක්ෂ ය. කාර්යක්ෂම ය. ඉන් එක් වැදගත් කාරණයක් ඉස්මතු කෙරෙන්නේ ය. වයස අවුරුදු 65 න් විශ්‍රාම යවනු ලැබුවත් ඔවුන් විශ්‍රාම යාමට තරම් වයස්ගතව නැත.
සෞඛ්‍ය සේවාවේ දැවැන්ත දියුණුවත් නිෂ්පාදන හා සේවා ක්ෂේත්රයන්හි විද්‍යා හා තාක්ෂණ දියුණුවත් සමග වර්තමාන ලෝකයේ පලදායිතාවෙහි අඩුවක් නැතිව සේවය කිරීමේ හැකියාව බහුතරයකට නීතියෙන් සම්මතයෙන් නොවුනත් ප්‍රායෝගිකව අවුරුදු 75 ක් 80 ක් වන තෙක් දීර්ග කරගත හැකිය. එහෙත් සමාජ සංවර්ධනයක ප්‍රධාන ලක්ෂණයක් වන්නේ, පුරවැසියනට ආර්ථික පහසුකම් සහිතව කෙතරම් නිදහස් හා විවේක කාලයක් ලැබෙන්නේද යන්නය. සියවසකට වැඩි කාලයක් වැඩ කරන දවසක් යනු පැය 08 ක් යැයි කියූ සම්මතය දැන් පැය 06 ක් විය යුතු යැයි කියන්නේ සමාජ සංවර්ධනය සමගින් ය.

එනිසා ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමා සංශෝධනය කිරීමේ ආණ්ඩුවේ යෝජනාව සාකච්ඡාවට ගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු සමග විනිසුරුවරුන් 17 කුගේ සහ අභියාචනාධිකරණයේ සභාපති සමග විනිසුරුවරුන් 20 කුගේ විශ්‍රාම යෑමේ වයස් සීමාවේ සංශෝධනයක් ලෙස නොවේ. ආණ්ඩුවේ යෝජනාව සතු නොකියවෙන දේශපාලන කියැවීම ඇත්තේ නිරන්තර විශ්‍රාම යෑම්, පුරප්පාඩු ඇතිවීම් හමුවේ දළ වශයෙන් මහේස්ත්‍රාත්වරුන්ද සමග විනිසුරුවරුන් 450 ක් පමණ වන සමස්ථයෙන් ඉහළ අධිකරණයෙහි විනිසුරුවරුන් 37 කුගේ අවශ්‍යතාවක් ලෙස විශ්‍රාම යෑමේ වයස ඉහළ දැමීමේ යෝජනාව සීමා කර ගැනීමෙහිය.
අද සාකච්ඡාවට තැබිය යුත්තේ ඉහළ අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව පමණක් නොවේ. අධිකරණ පද්ධතිය ඇතුළු සමස්ථ රාජ්‍ය සේවාවන්හි සංයුතීන්, සේවක සංඛ්‍යාවන් හා අවම ජාතික විශ්‍රාම යාමේ වයස් සීමාවක් සම්බන්ධ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ සැළසුමකි. කෙටියෙන් කිවහොත් අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ යෝජනාවට ඉදිරිපත් කෙරෙන විරෝධයක් නොව, රාජ්‍ය සේවාවේ පුළුල් ප්රතිසංවිධනයක් සඳහා විකල්ප යෝජනාවකි. තව සරළ කළහොත් දැන් අවශ්‍ය වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකි. විපක්ෂයට එවැනි ඉදිරි දැක්මක් නොමැති බව සැබෑය. හැකියාවක් නොමැති බවත් සැබෑය. එහෙත් මේ සමාජයේ ඉහළ වෘත්තිකයින්ගෙන් විශ්වවිද්‍යාල ඇදුරු සමාජයෙන් හා සමාජ ක්‍රියාකාරීන්ගෙන් එවැනි යෝජනා ඉදිරිපත් නොවීමත් ගැටළුවකි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී