
කිලිනොච්චිය අක්කරායන්කුලම් පොලිස් වසමේ මුක්කම්පන් ප්රදේශයේ පිහිටි අක්කරායන් රක්ෂිත වනාන්තරය JCB යන්ත්රයක් යොදාගෙන අනවසරයෙන් එළිපෙහෙලි කරමින් සිටි පිරිසක් පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ වනජීවි නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලැබුණු තොරතුරකට අනුව ක්රියාත්මක කළ මෙම වැටලීමේදී, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන් වනජීවි නිලධාරීන්ට හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට විරෝධය පළ කරමින් රාජකාරියට බාධා කර ඇත. මෙහිදි පහරදීමක් ද සිදු කළ අතර නිලධාරීන්ගේ ගිනි අවි උඳුරා ගැනීමට ද උත්සාහ කර තිබෙනවා. එම අවස්ථාවේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අහස දෙසට අනතුරු ඇඟවීමේ වෙඩි කිහිපයක් තබා ඇති අතර අනතුරුව සැකකරුවන් 09 දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබුවා. කැලෑව එළිපෙහෙලි කිරීමට යොදාගත් JCB යන්ත්රය ද අත්අඩංගුවට ගෙන සැකකරුවන් සමග අක්කරායන්කුලම් පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 ත් 38 ත් අතර පසුවන අක්කරායන්කුලම්, කිලිනොච්චිය සහ පුනරින් ප්රදේශවල පදිංචිකරුවන් බව සඳහන්. සැකකරුවන්ගේ පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිව් දෙනෙකු ප්රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අක්කරායන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.