
ලෝක වෙළෙඳාමට තවත් දැවැන්ත අනතුරු ඇඟවීමක්
මැද පෙරදිග යුද ගැටුම් තවත් භූගෝලීය සීමාවන් ඉක්මවා යමින්, දැන් ලෝක ආර්ථිකයේ හදවතටම බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇත. පර්සියානු බොක්කෙන් පසු, රතු මුහුද ද ගෝලීය වෙළෙඳාමේ තවත් අවදානම් කලාපයක් බවට පත්වෙමින් තිබේ. ඉරානයේ සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම, ලෝකයේ වැදගත්ම නාවික මාර්ගවලින් එකක් වන බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය ඔස්සේ සෞදි අරාබියට අයත් නෞකා සඳහා "සමුද්‍රීය වාරණයක්" ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, ගෝලීය වෙළෙඳාම, බලශක්ති සැපයුම සහ නාවික ආරක්ෂාව පිළිබඳ දැඩි කනස්සල්ලක් මතුව තිබේ. ප්රශ්නය දැන් සරල ය. හූතින්ට සැබවින්ම මෙම සමුද්‍ර සන්ධිය අඩපණ කළ හැකිද? එසේ වුවහොත් ලෝකයට සිදුවන්නේ කුමක්ද?
ලෝක වෙළෙඳාමේ "කඳුළු දොරටුව"
අරාබි භාෂාවෙන් "බාබ් අල්-මන්දාබ්" යන්නෙහි අර්ථය "කඳුළු දොරටුව" හෙවත් "ශෝකයේ දොරටුව" යන්නයි. නමට ගැළපෙන ලෙසම, ඉතිහාසය පුරා මෙම සමුද්‍ර සන්ධිය අනතුරු, ගැටුම් සහ මුහුදු කොල්ලකෑම්වලට ප්‍රසිද්ධය. යේමනය, ජිබුටි සහ එරිත්‍රියාව අතර පිහිටි මෙම පටු ජල මාර්ගය, ඉන්දීය සාගරය සහ ඒඩන් බොක්ක සූවස් ඇළ සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දොරටුවයි. 1869 දී සූවස් ඇළ විවෘත කිරීමෙන් පසු, යුරෝපය සහ ආසියාව අතර කෙටිම මුහුදු මාර්ගය ලෙස එය ගෝලීය වෙළෙඳාමේ අත්‍යවශ්‍ය සම්බන්ධකයක් බවට පත් විය. අද වන විට, *ලෝක මුහුදු වෙළෙඳාමෙන් හතරෙන් එකක් පමණ මෙම මාර්ගය හරහා සිදු වේ. *ගෝලීය තෙල් ප්‍රවාහනයෙන් සියයට 12ක් මෙහිදී ගමන් කරයි. *දිනකට බොරතෙල් බැරල් මිලියන පහක් පමණ මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරේ. *ලෝක LNG නැව්ගත කිරීම්වල සියයට 8ක් ද මෙම මාර්ගය භාවිත කරයි.
හෝමූස්වලින් පසු තවත් අර්බුදයක්

හූතින්ගේ නව තර්ජනය
2026 ජූලි 20 දා, හූති හමුදා ප්‍රකාශක යහ්යා සරියා ප්‍රකාශ කළේ, හූති පාලන ප්‍රදේශවල වරායන් සහ ගුවන් තොටුපළවල් සෞදි අරාබිය විසින් වාරණයට ලක් කිරීමේ ප්‍රතිචාරයක් ලෙස මෙම "සමුද්‍රීය වාරණය" ප්‍රකාශයට පත් කළ බවයි. සෞදි අරාබිය එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින්, ජාත්‍යන්තර නීතියට අනුකූලව සිය නෞකා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
හූතින්ට ඇත්තටම සමුද්‍ර සන්ධිය වසා දැමිය හැකිද?
විශේෂඥයන් පවසන්නේ සම්පූර්ණයෙන්ම නාවික ගමනාගමනය නතර කිරීම හූතින්ට පහසු නොවන නමුත්, එය අවදානම් කලාපයක් බවට පත් කිරීම සඳහා ඔවුන්ට ප්‍රමාණවත් හැකියාවක් ඇති බවයි.
ලන්ඩනයේ චැතම් හවුස් ආයතනයේ මැද පෙරදිග විශේෂඥ ෆාරියා අල්-මුස්ලිමි පවසන්නේ,හූතින් සතුව, මුහුදු බෝම්බ,ප්‍රහාරක ඩ්‍රෝන,නැව් නාශක මිසයිල,දුරස්ථ පාලිත මුහුදු යාත්‍රා වැනි නවීන ආයුධ පද්ධති පවතින බවයි. ඔහුගේ අදහස අනුව, එක් නෞකාවකට පමණක් ප්‍රහාරයක් එල්ල කිරීම පවා ප්රමාණවත්ය.
එමඟින්, *රක්ෂණ වාරික ඉහළ යනු ඇත. *නාවික සමාගම් වෙනත් මාර්ග තෝරා ගනු ඇත. *ඉන්ධන ප්‍රවාහන වියදම් වැඩි වනු ඇත. *ලෝක වෙළෙඳපොළ තුළ භීතිය සහ අවිනිශ්චිතතාවය පැතිරෙනු ඇත. *ගෝලීය සැපයුම් දාමයට සිදුවන බලපෑම
2021 දී එවර් ගිවන් නෞකාව සූවස් ඇළේ සිරවීමෙන් දින කිහිපයක් පමණක් ලෝක වෙළෙඳාම අඩාල විය. එහි ප්‍රතිඵල වූයේ, *භාණ්ඩ ප්‍රවාහනය ප්‍රමාද වීම, *තෙල් මිල ඉහළ යාම, *සැපයුම් දාම කඩා වැටීම, *පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාමයි. බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය දීර්ඝ කාලයක් අවහිර වුවහොත්, එම බලපෑම් ඊටත් වඩා බරපතළ විය හැකිය.
හූතින්ගේ පෙර ඉතිහාසය
මෙය නව තර්ජනයක් නොවේ

2023 සිට හූතින්,වාණිජ නෞකා 100කට අධික සංඛ්‍යාවකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය. නෞකා දෙකක් ගිල්වා දැමීය. නැවියන් සිව් දෙනෙකු මරා දැමීය. ජපාන පාලනය යටතේ බ්‍රිතාන්‍යයට අයත් භාණ්ඩ නෞකාවක් හෙලිකොප්ටරයකින් පැහැර ගත්තේය. මෙම ප්‍රහාර හේතුවෙන් ලෝකයේ විශාලතම නාවික සමාගම් රතු මුහුද මඟහැර අප්‍රිකාවේ කේප් ඔෆ් ගුඩ් හෝප් වටා දිගු මාර්ගය භාවිත කිරීමට පවා පෙළඹුණි.
** සෞදි අරාබියත් ගැටුමට ඇද ගැනීමේ උත්සාහයක්ද?**
යේමනය පිළිබඳ විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ, මෙම තර්ජනයේ සැබෑ අරමුණ නාවික ගමනාගමනය පමණක් නොව, සෞදි අරාබිය සෘජුවම ඉරානය සමඟ ගැටුමට ඇද ගැනීම බවයි. මේ වන තෙක් සෞදි අරාබිය කලාපීය යුද්ධයෙන් හැකි තරම් ඈත්ව සිටීමට උත්සාහ කළද, තම බලශක්ති අපනයන සහ නාවික ආරක්ෂාවට සෘජු තර්ජනයක් එල්ල වුවහොත් එම ප්‍රතිපත්තිය වෙනස් විය හැකිය.
** ලෝකයට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන්නේ කුමක්ද?**
හූතින්ට බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දැමීම අපහසු වුවද, එය අවදානම් සහිත ජල මාර්ගයක් බවට පත් කිරීම සඳහා ඔවුන්ට ප්‍රමාණවත් හැකියාවක් ඇතැයි විශේෂඥයෝ එකඟ වෙති.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත්
*ගෝලීය තෙල් මිල ඉහළ යා හැකිය. *භාණ්ඩ ප්‍රවාහනය ප්‍රමාද විය හැකිය. *රක්ෂණ ගාස්තු වැඩි විය හැකිය. *සැපයුම් දාම නැවතත් බිඳ වැටිය හැකිය. *පාරිභෝගික භාණ්ඩ මිල ලොව පුරා ඉහළ යා හැකිය.
මේ වන විටත් යුද්ධයෙන් පීඩාවට පත්ව ඇති මැද පෙරදිග, ලෝක වෙළෙඳාමේ අත්‍යවශ්‍ය නාවික මාර්ග දෙකම එකවර අවදානමට ලක්වීම හේතුවෙන්, ජාත්‍යන්තර ආර්ථිකය තවත් අස්ථාවර අවධියකට පිවිසෙමින් සිටින බවට අනතුරු ඇඟවීම් නිකුත් වෙමින් පවතී. බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා නොදැමුණද, එය වටා ඇති අවිනිශ්චිතතාව පමණක් වුවද ලෝක වෙළෙඳාමට විශාල පිරිවැයක් ගෙන දිය හැකි බව දැන් පැහැදිලිය. (තොරතුරු හා දත්ත BBC ඇසුරෙන්)