
ඉරානයට එරෙහිව කොංග්‍රසයේ අනුමැතියකින් තොරව යුද මෙහෙයුම් සිදුකළ බවට චෝදනා කරමින්, ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව පරාජයට පත් වී තිබේ.
කෙන්ටකි ප්‍රාන්තය නියෝජනය කරන රිපබ්ලිකන් කොංග්රස් මන්ත්‍රී තෝමස් මැසී විසින් මෙම දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර, එය වැඩිදුර සලකා බැලීම සඳහා රිපබ්ලිකන් පක්ෂයේ පාලනය යටතේ පවතින නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුව වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 211ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 204ක් ලැබිණි.
ඡන්ද විමසීමට ඩිමොක්රටික් මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 12කට වැඩි පිරිසක් සහභාගි වී නොතිබුණි.
යෝජනාව කමිටුව වෙත යොමු කිරීමත් සමඟ එය ක්‍රියාත්මක කිරීමේ උත්සාහය මේ වන විට අත්හිටුවී තිබේ.
කෙසේ වෙතත්, ඉදිරි කොංග්රස් සැසිවාරයේදී ඩිමොක්රටික් පක්ෂයට මෙම යෝජනාව යළි ඉදිරියට ගෙන යාමට අවස්ථාව පවතී.
මෙම ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ එකම රිපබ්ලිකන් මන්ත්‍රීවරයා වූයේ තෝමස් මැසීය.
දෝෂාභියෝග යෝජනාව පරාජයට පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සතුට පළ කර තිබේ.
සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙම උත්සාහය අන්ත පරාජයකට පත්වූ බවයි.
වෙනිසියුලාවේ සහ ඉරානයේ ජයග්‍රහණ, ඇමෙරිකානු හමුදාවට ඉතිහාසයේ ඉහළම බඳවා ගැනීම් සංඛ්‍යාව වාර්තා වීම සහ හමුදා සාමාජිකයන් අතර පවතින උද්යෝගය ද ඔහු එහිදී අගය කර තිබේ.
පෙන්ටගනයේ මාස හයකට පමණ පසු පැවති සිය පළමු මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, තමන්ට එරෙහි දෝෂාභියෝග උත්සාහය විහිළුවක් සහ දේශපාලන කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස හඳුන්වා දී ඇත.
මෙම යෝජනාව ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් බව පවසමින් ඔහු සඳහන් කර ඇත්තේ, නීත්‍යනුකූල හමුදා මෙහෙයුම් සිදුකිරීම හේතුවෙන් ඇමෙරිකාව තමන්ගේම හමුදා සාමාජිකයන්ට සහ සිවිල් නායකත්වයට දඬුවම් කරන බවට විදේශීය විරුද්ධවාදීන්ට පණිවිඩයක් ලබාදීම මෙවැනි ක්‍රියාමාර්ග හරහා සිදුවන බවයි.
“මෙය දේශප්‍රේමී ක්‍රියාවක් නොවේ. මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවකි” යනුවෙන් ද හෙග්සෙත් ප්‍රකාශ කර තිබේ.
තමන්ට එරෙහි යෝජනාව පිටුපස කිසිදු සාධාරණ දෝෂාභියෝග පදනමක් නොමැති බව පෙන්වා දුන් ඔහු, එය ප්‍රතිපත්තිමය මතභේද හේතුවෙන් ගෙන ආ දේශපාලන උත්සාහයක් බව ද සඳහන් කර ඇත.