
ඉරානය සතුව තවමත් මිසයිල 1,500ත් 2,500ත් අතර ප්‍රමාණයක් පවතින බව ඇමෙරිකානු බුද්ධි අංශ තක්සේරු කර ඇතැයි The Wall Street Journal පුවත්පත වාර්තා කරනවා.
ඇමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන් උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කර ඇත්තේ, මහා පරිමාණයේ යුද ගැටුමක් යළි ආරම්භ වුවහොත් ඇමෙරිකානු සහ එහි මිත්‍ර රටවල ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ සැලකිය යුතු හැකියාවක් ඉරානය සතුව තවදුරටත් පවතින බවයි.
කෙසේ වෙතත්, මෙම මිසයිල සංඛ්‍යාව පිළිබඳ තක්සේරුව අඩු විශ්වාසනීයත්වයකින් යුත් එකක් බව ඇමෙරිකානු නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.
ඊට හේතුව, ඉරානය සතුව මේ වන විට ක්ෂණිකව ප්‍රහාර සඳහා යෙදවිය හැකි මිසයිල සංඛ්‍යාව සහ ගබඩා කර ඇති මිසයිල ප්‍රමාණය නිශ්චිතව හඳුනාගැනීමේ දුෂ්කරතාවයි.
එම අවිනිශ්චිතතාව මධ්‍යයේ වුවද, සැලකිය යුතු මිසයිල ශක්තියක් ඉරානය සතුව තවදුරටත් පවතින බව ඇමෙරිකානු නිලධාරීන් සඳහන් කර ඇත.
මේ අතර, ඉරානය සිය මිසයිල සංචිතය යළි ගොඩනැගීමේ කටයුතු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ යළිත් ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාර එල්ල කළ යුතුද යන්න සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවලදී ද සැලකිල්ලට ගෙන ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර, ඇමෙරිකානු හමුදා ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් බහරේනයේ රිෆා (Riffa) ගුවන් කඳවුරේ පිහිටි ඇමෙරිකානු ගුවන් ආරක්ෂක පද්ධතියකට අයත් රේඩාර් පද්ධතියකට ප්‍රහාරයක් එල්ල කළ බවට ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කළා.
ඒ අනුව, ඉරානයේ මිසයිල හැකියාවන් සහ එරට යළි ගොඩනැගෙමින් පවතින අවි සංචිතය සම්බන්ධයෙන් ඇමෙරිකානු බුද්ධි අංශවල අවධානය තවදුරටත් යොමුව ඇති බව වාර්තා වනවා.