
අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන යුද නෞකාවක් මැදපෙරදිග කලාපයට පැමිණීමත් සමඟ ඉරාන සන්නද්ධ හමුදාවන් දැඩි සීරුවෙන් පසුවන බව ඉරාන හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් අමීර් හතාමි ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ ෆාර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි, සතුරු පාර්ශ්වයේ සියලු හමුදාමය ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව හතාමි සිය ප්‍රකාශයකින් සඳහන් කර ඇත.
අමෙරිකාව හෝ එහි සහායක පාර්ශ්වයන් කිසියම් හෝ අත්තනෝමතික ක්‍රියාවක නිරත වුවහොත් ඊට ඉරානය ලබාදෙන ප්‍රතිචාරය පෙරටත් වඩා දැඩි හා ප්‍රබල වනු ඇති බවද ඔහු අවධාරණය කර තිබේ.
එවැනි ක්‍රියාමාර්ගවල නිරත වන පාර්ශ්වයන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට ඉරානය සූදානම් බවත්, එය සෙසු රටවලටද අනතුරු ඇඟවීමක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) සඳුදා නිවේදනය කළේ USS Theodore Roosevelt ගුවන් යානා ප්‍රවාහන යුද නෞකාව මැදපෙරදිග කලාපයට ළඟා වී ඇති බවයි.
ඒ අනුව USS George H.W. Bush සහ USS George Washington යන යුද නෞකා සමඟ එයද කලාපයේ රැඳී සිටිනු ඇත.
මේ අතර කුවේටයේ පිහිටි අලි අල් සාලෙම් (Ali Al-Salem) ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන හමුදාව ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ නිල පුවත් සේවය වන IRNA වාර්තා කරන පරිදි, එම කඳවුරේ ස්ථාපිත කර ඇති අමෙරිකානු ඩ්‍රෝන යානා සහ මිසයිල පද්ධති ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
මේ අතර, කුවේට් හමුදාව ප්‍රකාශ කර ඇත්තේ සිය ගුවන් ආරක්ෂක පද්ධති මඟින් සතුරු ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.
කෙසේ වෙතත්, ප්‍රහාරයේ ස්වභාවය හෝ සිදුවූ හානි පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉරානයේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දැක තිබේ.
එය කුවේටයේ ස්වෛරීභාවය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් මෙන්ම එරට ආරක්ෂාවට හා ස්ථාවරත්වයට සෘජු තර්ජනයක් බව අමාත්‍යාංශය සඳහන් කර ඇත.
නැවත නැවතත් මෙවැනි ප්‍රහාර එල්ල කිරීම කලාපීය ආතතීන් තවදුරටත් උත්සන්න කරන අතර, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ගැටුම් සමනය කිරීමට ගන්නා උත්සාහයන්ටද බාධාවක් බව කුවේට් විදේශ අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.
තම භූමිය සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට කුවේටයට පූර්ණ අයිතියක් ඇති බවද එම අමාත්‍යාංශය අවධාරණය කර ඇත.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ 51 වැනි වගන්තිය යටතේ පිළිගැනෙන ස්වයං ආරක්ෂාව සඳහා ඇති අයිතියද කුවේටය මෙහිදී සිහිපත් කර තිබේ.
ඉරානය මෙම ප්‍රහාරය එල්ල කළේ කුවේටයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් බව ප්‍රකාශ කර ඇතත්, සිද්ධිය සම්බන්ධයෙන් කලාපීය ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වෙමින් පවතී.