
නවනීතම් (නවී) පිල්ලේ මහත්මිය 2026 වසරේ නොබෙල් සාම ත්යාගයේ ජයග්රාහිකාව ලෙස ප්රකාශයට පත් කර තිබේ.
ජාත්යන්තර නීතිය සහ සාමය ප්රවර්ධනය කිරීම වෙනුවෙන් ඇය කළ මෙහෙවර අගය කරමින් මෙම සම්මානය පිරිනැමීමට තීරණය කළ බව නොබෙල් කමිටුවේ සභාපති ජෝර්ගන් වාට්නේ ෆ්රයිඩ්නස් මහතා සඳහන් කළේය.
දකුණු අප්රිකාවේ වර්ණභේදවාදී පාලන සමයේ සිට මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කළ පිල්ලේ මහත්මිය, ජාත්යන්තර යුක්තිය සහ නීතියේ ආධිපත්යය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් නීතිවේදිනියකි.
1967 වසරේදී ඇය දකුණු අප්රිකාවේ නටාල් පළාතේ නීතිඥ වෘත්තියෙහි නියැළීම සඳහා තමන්ගේම නීති කාර්යාලයක් ආරම්භ කළ පළමු කාන්තාව බවට පත්වූවාය.
එමෙන්ම, එම පළාතේ එවැනි නීති වෘත්තියක නිරත වූ පළමු කළු ජාතික නොවන කාන්තාව ලෙස ද ඇය ඉතිහාසයට එක්වූවාය.
දකුණු අප්රිකාවේ ඩර්බන් නගරයේ අඩු ආදායම්ලාභී ඉන්දීය සම්භවයක් සහිත පවුලක උපත ලැබූ පිල්ලේ මහත්මිය, බස් රථ රියැදුරෙකුගේ දියණියකි.
වර්ණභේදවාදය පැවති සමයේ හැදී වැඩුණු ඇය, එම පාලනයට එරෙහිව කටයුතු කළ පුද්ගලයන් රැසක් වෙනුවෙන් නීතිමය ආරක්ෂාව ලබා දුන්නාය.
පසුව ඇය දකුණු අප්රිකාවේ මහාධිකරණ විනිසුරුවරියක ලෙස පත් වූ පළමු කළු ජාතික නොවන කාන්තාව බවට පත්වෙමින් තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළාය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඇය රුවන්ඩාව සඳහා වූ ජාත්යන්තර අපරාධ විනිශ්චය මණ්ඩලයේ විනිසුරුවරියක ලෙස තෝරා පත් කර ගනු ලැබීය.
එහි වසර අටක් සේවය කළ ඇය, වසර හතරක කාලයක් එම විනිශ්චය මණ්ඩලයේ සභාපතිනිය ලෙස ද කටයුතු කළාය.
පලස්තීන අත්පත් කරගත් ප්රදේශ සම්බන්ධයෙන් පත් කළ එක්සත් ජාතීන්ගේ ස්වාධීන ජාත්යන්තර විමර්ශන කොමිසමේ සභාපතිනිය ලෙස ද පිල්ලේ මහත්මිය කටයුතු කර තිබේ.
මියන්මාරයට එරෙහිව ඉදිරිපත් කර ඇති ජන සංහාර චෝදනා සම්බන්ධ ජාත්යන්තර අධිකරණ නඩු කටයුතුවලට ද ඇය සම්බන්ධ වී සිටින බව වාර්තාවේ සඳහන් වේ.
නොබෙල් සාම ත්යාගය ඉතිහාසයේ අවස්ථා 106කදී පිරිනමා ඇති අතර, ඒ සඳහා පුද්ගලයන් සහ සංවිධාන ඇතුළුව සම්මානලාභීන් 143 දෙනෙකු තෝරාගෙන තිබේ.
මෙම සම්මානය දිනාගත් ඇමෙරිකානු ජනාධිපතිවරුන් අතර තියඩෝර් රූස්වෙල්ට්, වුඩ්රෝ විල්සන්, ජිමී කාටර් සහ බැරැක් ඔබාමා වෙති.
2014 වසරේදී නොබෙල් සාම ත්යාගය දිනාගත් මලාලා යූසුෆ්සායි එම සම්මානය හිමි කරගත් ලාබාලතම පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වූවාය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 17කි.
1973 වසරේදී වියට්නාම දේශපාලනඥ ලේ ඩක් තෝට වියට්නාමයේ සටන් විරාමයක් සඳහා සාකච්ඡා කිරීම වෙනුවෙන් නොබෙල් සාම ත්යාගය පිරිනැමීමට තීරණය කළ ද, එම සටන් විරාමය උල්ලංඝනය වී ඇති බව පවසමින් ඔහු එය ප්රතික්ෂේප කළේය.
නෙල්සන් මැන්ඩෙලා, මාර්ටින් ලූතර් කිං කනිෂ්ඨ සහ තෙරේසා මව් තුමිය වැනි ලෝක ප්රකට පුද්ගලයෝ ද නොබෙල් සාම ත්යාගයෙන් පිදුම් ලැබූවන් අතර වෙති.
ලෝක සාමය, මානව හිමිකම් සහ ජාත්යන්තර සහයෝගීතාව ප්රවර්ධනය කිරීම සඳහා මෙම සම්මානය දීර්ඝ කාලයක් පුරා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
.