
ත්රිකුණාමලයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටියදී අසාධ්ය ලෙස රෝගාතුර වූ ධීවරයෙකු ශ්රී ලංකා නාවික හමුදාව විසින් අද (03) කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්රතිකාර සඳහා ත්රිකුණාමලය මහ රෝහල වෙත යොමු කර තිබේ.
ත්රිකුණාමලය ධීවර වරායෙන් පෙරෙදා (01) ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ‘වෙනුෂ පුතා’ නමැති බහුදින ධීවර යාත්රාව ත්රිකුණාමලයට ඔබ්බෙන් නාවික සැතපුම් 11ක් පමණ දුරින් වූ මුහුදු ප්රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටියදී එහි සිටි එක් ධීවරයෙකු හදිසියේ රෝගාතුර වී අසාධ්ය තත්ත්වයට පත්ව ඇත.
රෝගී ධීවරයාට කඩිනම් වෛද්ය ප්රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්ය සහාය ලබාදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ සමුද්රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්යස්ථානය වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව, එම මධ්යස්ථානයේ සම්බන්ධීකරණයෙන් රෝගී ධීවරයා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත P 460 වේග ප්රහාරක යාත්රාව යොමු කිරීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
පසුව, නාවික හමුදා කණ්ඩායම විසින් රෝගී ධීවරයා ධීවර යාත්රාවෙන් නාවික හමුදා යාත්රාව වෙත නංවාගෙන මූලික ප්රථමාධාර ලබාදී තිබේ.
අනතුරුව ඔහු කඩිනමින් ත්රිකුණාමලය වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර වෛද්ය ප්රතිකාර සඳහා ත්රිකුණාමලය මහ රෝහල වෙත භාරදීමට කටයුතු කර ඇත.
කොළඹ සමුද්රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්රී ලංකාවට අයත් සමුද්රීය සෙවීම් හා මුදාගැනීම් කලාපය තුළ ආපදාවට පත්වන නාවිකයන් සහ ධීවර ප්රජාව වෙත කඩිනම් සහන සැලසීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටින බව නාවික හමුදාව සඳහන් කරයි.