
ශ්රී ලංකේය ඉංජිනේරු විශිෂ්ටත්වය ආසියානු කලාපය පුරා තහවුරු කරමින්, LTL සමූහයට අනුබද්ධ ලක්දනවි සමාගම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැති ආසියානු බලශක්ති සහ ජල සම්මාන උළෙල 2026 හිදී වැදගත් සම්මාන 5ක් දිනාගැනීමට සමත් වී තිබේ.
බලශක්ති උත්පාදනය, නවෝත්පාදන තාක්ෂණය, ජල කළමනාකරණය සහ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ප්රමිතීන් ඇතුළු ක්ෂේත්ර රැසක් වෙනුවෙන් මෙම ඇගයීම් හිමිවී ඇත.
ඒ අනුව මෙගාවොට් 300ක ධාරිතාවයෙන් යුත් යුගදනවි බලාගාරය වසරේ ස්වාධීන විදුලි නිෂ්පාදකයා (Independent Power Producer of the Year) , වසරේ නවෝත්පාදන බලශක්ති තාක්ෂණය (Innovative Power Technology of the Year - HFO ඉන්ධන රත් කිරීමේ නවෝත්පාදනය වෙනුවෙන්) , ජල තාක්ෂණික විශිෂ්ටතා සම්මානය - කාර්මික (Water Technology Excellence Award - Industrial) , වසරේ ජල ප්රතිභාවිත සහ ප්රතිචක්රීකරණ ව්යාපෘතිය (Water Reuse and Recycling Project of the Year) , යන සම්මාන ලැබීය.
එසේම "වසරේ ESG වැඩසටහන" වසරේ ESG වැඩසටහන (ESG Program of the Year) සඳහා වන සම්මානය ලක්දනවි සමාගම දිනාගෙන තිබේ.
මේ ආකාරයට නවීන බලශක්ති යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී ශ්රී ලංකාවේ ඉංජිනේරු විශේෂඥතාව ආසියාව විසින් පිළිගැනීමට ලක්වීම සමස්ත ජාතියටම ආඩම්බරයකි.
කෙසේ වෙතත්, මෙවැනි ජාත්යන්තර ජයග්රහණ අත්කර ගන්නා අතරතුරදීද, පසුගිය දිනවල සමස්ත රටේම සිදුවූ විදුලි බිඳවැටීමෙන් පසු පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේදී සිදු වූ කාල ප්රමාදය මුල් කරගනිමින් ඇතැම් පාර්ශවයන්ගෙන් තාප බලාගාර වෙත චෝදනා එල්ල කල බව අපගේ නිරීක්ෂණය විය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බලශක්ති ක්ෂේත්රයේ ප්රවීණයන් සහ විශේෂඥයන් පෙන්වා දුන්නේ, තාප විදුලි බලාගාරයක් යනු ක්ෂණිකව ක්රියාත්මක කළ හැකි දෙයක් නොවන බවත්, එහි බොයිලේරු සහ ටර්බයින් නිසි උෂ්ණත්වයට සහ පීඩනයට පත්වන තෙක් නිශ්චිත කාලයක් ගත වන බවත්ය.
මුළු රටේම විදුලිය විසන්ධි වී ඇති අවස්ථාවක එකවර විශාල ධාරිතාවක් පද්ධතියට එකතු කළහොත් ග්රිඩ් එකේ සංඛ්යාතය (Frequency) වෙනස් වී මුළු පද්ධතියම යළි බිඳවැටීමේ අවදානමක් ඇති බැවින්, පද්ධති පාලන මධ්යස්ථානයේ උපදෙස් මත අදියරෙන් අදියර ඉතා පරිස්සමෙන් මෙම ක්රියාවලිය සිදු කළ යුතු බව ඔවුන් අවධාරණය කළහ.
සූර්ය, වායු හෝ ජල විදුලියෙන් අඩු පිරිවැයකින් විදුලිය උත්පාදනය කළ හැකි වුවද, කාලගුණික හා දේශගුණික විපර්යාස හමුවේ ඒවායේ ධාරිතාව හදිසියේ පහළ යා හැකි බැවින්, අව්ව හෝ සුළඟ නැති අවස්ථාවලදී රටට අඛණ්ඩ විදුලි සැපයුමක් තහවුරු කරන්නේ යුගදනවි සහ සොබාදනවි වැනි තාප බලාගාර මඟිනි. ලෝකය ගල් අඟුරු වැනි බලාගාරවලින් ක්රමයෙන් ඉවත් වුවද, ඉන්ධන මූලික තාප බලාගාරවල සේවා ලබාගැනීම අඛණ්ඩව සිදුකරන බවත්, ආර්ථිකය අඩපණ නොවී පවත්වාගෙන යාමට විදුලි ගාස්තු අඩුවීම මෙන්ම අඛණ්ඩ විදුලි සැපයුමද අත්යවශ්ය සාධකයක් වන බවත් විශේෂඥයෝ පෙන්වා දෙති.
විධිමත් නඩත්තු ක්රමවේද යටතේ ක්රියාත්මක වන මෙම බලාගාර වල කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැති අතර මෙකී බලාගාර නොතිබෙන්න මේ වන විටත් මෙරට විදුලි කප්පාදුවක් වෙත යාමට සිදුවන තත්ත්වයක් ඇති බවද ඔවුන් සඳහන් කළේය. එබැවින් මෙකී තාප බලාගාර ජාතික වස්තු ලෙස සැළකුවද වැරදි නැති බව ඔවුන්ගේ අදහසයි.
එසේම මෙකී බලාගාර කිසිදු විටෙක බලහත්කාරයෙන් ජාතික පද්ධතියට විදුලිය සැපයීමක් නොකරන බැවින්, අවශ්ය නොමැති ලෙස සලකා විදුලිය නොගෙන සිටීමට හැකි නමුත් ඒ වෙනුවෙන් දිනකට හෝරා කිහිපයක් විදුලි බලය නොමැතිව සිටීමට හිත හදාගත යුතු බවද ඔවුන් සඳහන් කළේය.
එබැවින් විවිධ අවස්ථාවාදීන් පටු අරමුණු වෙනුවෙන් ගෙන යන සාවද්ය අදහස් නොතකා සත්ය අවබෝධයෙන් කටයුතු කිරීමට ජනතාව නිවැරදි තොරතුරු මූලාශ්ර ඇසුරු කිරීම වැදගත් බවද ඔවුන්ගේ පැහැදිලි කිරීම විය.