
“සසුනෝදය” වැඩසටහන යටතේ ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනය කිරීමේ අරමුණින් ක්රියාත්මක රුපියල් මිලියන 100ක මූල්ය ප්රතිපාදන ලබාදීමේ වැඩසටහනෙහි බදුල්ල දිස්ත්රික් අදියර පසුගියදා (23) බණ්ඩාරවෙල නගර සභා ශ්රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
මෙහිදී බදුල්ල දිස්ත්රික්කයේ තෝරාගත් විහාරස්ථාන සහ ආගමික ස්ථාන 100ක් සංවර්ධනය කිරීම උදෙසා රුපියල් මිලියන 50ක මූල්ය ප්රතිපාදන නිල වශයෙන් පිරිනැමීම සිදු කෙරිණි.
වැවිලි ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ සහ ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතාගේ ප්රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය තහවුරු කිරීම උදෙසා රජයේ සක්රීය මැදිහත්වීම යටතේ ක්රියාත්මක මෙම වැඩසටහන ඉදිරි වසරවලදී ද ඌව පළාත පුරා අඛණ්ඩව ක්රියාත්මක කරන බව මෙහිදී අවධාරණය කෙරිණි.
සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් වත්මන් රජය ක්රියාත්මක කරන මෙම ජාතික වැඩපිළිවෙළ මහා සංඝරත්නයේ විශේෂ ප්රශංසාවට ද ලක් විය.
මෙම උත්සව සභාවේ අනුශාසනා පැවැත්වීම ඌව උඩුකිද අමරපුර නිකායේ මහානායක, ගලඋඩ ධර්ම නිකේතන පිරිවෙන් කෘත්යාධිකාරී, අධ්යාපනවේදී, අතිපූජ්ය බොකන්ඔරුවේ ජිනානන්ද නායක ස්වාමීන් වහන්සේ සහ උඩඅරාව ශ්රී විවේකාරමය ඇතළු පංච මහා විහාරාධිපති, විශ්රාමික සහකාර අධ්යාපන අධ්යක්ෂ, අමරපුර සද්ධම්ම වංශ මහා නිකායේ ඌව පළාතේ ප්රධාන අධිකරණ සංඝ නායක අතිපූජ්ය ගල්බොඩගම සෝභිත නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා අතිපූජ්ය මහා සංඝරත්නය ප්රමුඛ ආගමික පූජකතුමන්ලා, තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා, බණ්ඩාරවෙල නගරාධිපති සාගරදීර විශ්ව වික්රම ඇතුළු පළාත් පාලන ආයතන නියෝජිතයන්, ඌව පළාත් ලේකම් අනුෂා ගෝකුල මහත්මිය, බදුල්ල අතිරේක දිස්ත්රික් ලේකම් ඇතුළු රාජ්ය නිලධාරීන් මෙන්ම අදාළ විහාරස්ථානවල දායක සභාවන්හි නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.