
පසුගිය (2025) ඔක්තොබර් 30 වනදා සිට ක්‍රියාත්මකවන "රටම එකට" මෙහෙයුමෙන් මේ වනවිට විෂ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 4000 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම 150000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව වලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහි වුවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව සවිබල ගැන්වීම යන බහුවිධ ප්රවේශයන් මඟින් රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීම අරමුණු කර ගනිමින් "රටම එකට" ජාති මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. පසුගිය (2025) ඔක්තොබර් 30 වනදා සිට ක්‍රියාත්මකවන මෙම මෙහෙයුම යටතේ වැටලීම් 151757 සිදු කරමින් 150 821 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අය අතරින් 2579 දෙනෙක් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කරනු ලබනවා. මෙම මෙහෙයුම්වලදි හෙරොයින් කිලෝ ග්‍රෑම් 1418 යි ග්‍රෑම් 273 ක්, අයිස් කිලෝ ග්‍රෑම් 1975 යි ග්‍රෑම් 353 ක්, කොකේන් කිලෝ ග්‍රෑම් 272 යි ග්‍රෑම් 384 ක්, කුෂ් කිලෝ ග්‍රෑම් 316 යි ග්‍රෑම් 626 ක් සහ හෑෂ් කිලෝ ග්‍රෑම් 192 යි ග්‍රෑම් 713 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මීට අමතරව ගංජා කිලෝ ග්‍රෑම් 5112 යි ග්‍රෑම් 150 ක් සහ මවා කිලෝ ග්‍රෑම් 269 ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා. එමෙන්ම මත් පෙති 1104775 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්. මේ අතර 277 දෙනෙකුගේ වත්කම් පිලිබඳ විමර්ශන ක්‍රියාත්මක වනවා. මීට අමතරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් 1974 දෙනෙක් පුනරුත්තාපනයට යොමු කොට තිබෙනවා.