
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ .
ගෞරි තවරාජා ඇසෝසියේට්ස් ආයතනයේ නීතිඥ දර්මජා තර්මරාජා විසින් මාධ්‍යවේදීන් වන ෆසීර් මොහොමඩ් සහ තරිඳු උඩුවරගෙදර වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර ඇතිබව වාර්තා වේ .
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ වින්දිතයෙකු වන නීතිඥ හෙජාස් හිස්බුල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මෙම පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිතය .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථා යටතේ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර නීතිපතිවරයා එහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත.
පෙත්සම්කරුවන් පවසන්නේ 2026 සැප්තැම්බර් 18 දිනැති ගැසට් අතිරේකයක් මගින් ප්‍රකාශයට පත් කළ මෙම පනත් කෙටුම්පත ඔක්තෝබර් 6 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බවය .
දැනට පවතින අපරාධ නීති යටතේද ආවරණය වන සමාන හෝ එකම ආකාරයේ ක්‍රියා සම්බන්ධයෙන් වෙනම නීතිමය ක්‍රියාපටිපාටියක් නිර්මාණය වන බවත්, ඒ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමානත්වය පිළිබඳ අයිතියට බලපෑම් සිදුවන බවත් පෙත්සම් කරුවෝ පවසති .
එමෙන්ම “ජාතික ආරක්ෂාව” සහ “හදිසි තත්ත්වය” වැනි පදනම් මත එවැනි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර නොමැති අවස්ථාවක පවා මූලික අයිතිවාසිකම්වලට දැඩි සීමා පැනවීමට පනත් කෙටුම්පත ඉඩ සලසන බවද ඕවුහු වැඩි දුරටත් පෙන්වා දෙති .
පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියේ ඇති “ත්‍රස්තවාදය” පිළිබඳ අර්ථ දැක්වීම අපැහැදිලි සහ අතිශය පුළුල් බවද පෙත්සම් කරුවෝ පවසති .
පනත් කෙටුම්පතේ එක් හෝ වැඩි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ /හෝ 4 ව්‍යවස්ථාවලට පටහැනි බව තීරණය වන්නේ නම්, ඒවා නීතියක් බවට පත් කිරීම සඳහා විශේෂ බහුතරයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද ලබාගත යුතු බවට තීරණය කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.