
'පිල්ලෙයාන්' සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට
නැගෙනහිර පළාතේ කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා යන ප්‍රදේශවලදී පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්ට අදාලව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' ඇතුළු දෙදෙනෙක් ලබන (23) වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
මෙම සිද්ධියේ තෙවැනි සැකකරු ලෙස නම් කර සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' සූම් තාක්ෂණය ඔස්සේ අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාරය පියවරගෙන තිබුණි.
එහිදී මඩකලපුව මහෙස්ත්‍රාත් ඒ.දර්ශනි මහත්මිය එකී නියෝගය නිකුත් කලාය.
මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ද මෙම සැකකාර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් යන අය රක්ෂිත භාරයේ පසුවෙයි.
මෙම පංච පුද්ගල ඝාතන සිද්ධීන්වල තුන්වන සැකකරු ලෙස නම් කර සිටින්නේ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' නමැත්තායි.
අදාළ ඝාතන 5 සම්බන්ධයෙන් පිල්ලෙයාන් සහ ලන්ඩනයේ පදිංචි 'පොලිස් පායිස්' ලෙස හඳුන්වන කාත්තන්කුඩි ප්‍රදේශයේ මොහොමඩ් පායිස් ඇතුළු 4 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ගොනු කර තිබේ.
ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරු නොවැම්බර් 23 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කළාය.
නඩුව අද විවෘත අධිකරණය කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් වන මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් ශාකීද් අධිකරණයට ඉදිරිපත් කළ අතර පිල්ලේයාන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරුණි.