
PTA වෙනුවට PSTA - නව ත්රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ප්රධාන කරුණු
ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත හඳුන්වා දීමත් සමඟ අත්අඩංගුවට ගැනීම්, රඳවා තැබීම්, ත්රස්තවාදය සම්බන්ධ වැරදි සහ දඬුවම් පිළිබඳ නව විධිවිධාන රැසක් යෝජනා වී තිබේ.
ශ්රී ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ විවාදයට හා විවේචනයට ලක්ව ඇති ත්රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) වෙනුවට නව නීති රාමුවක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
ඒ සඳහා යෝජනා කර ඇති නව පනත් කෙටුම්පත “ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත” (Protection of the State from Terrorism Act – PSTA) ලෙස නම් කර ඇත.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ගැසට් කර ඇති අතර, එය දැනට පවතින්නේ යෝජිත නීති රාමුවක් ලෙසය. එහි ප්රධාන අරමුණ වන්නේ ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ජනතාව ත්රස්තවාදී ක්රියා සහ ත්රස්තවාදයට සම්බන්ධ වැරදිවලින් ආරක්ෂා කිරීම මෙන්ම, එවැනි ක්රියා සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගැනීම, අත්අඩංගුවට ගැනීම, රඳවා තැබීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා නීතිමය විධිවිධාන සැලසීමයි.
කාටද මෙම පනත අදාළ වන්නේ?
පනත් කෙටුම්පතට අනුව, ශ්රී ලංකා ජනරජයේ දේශය තුළ හෝ ඉන් පිටතදී පනත යටතේ වරදක් සිදු කරන ශ්රී ලාංකික පුරවැසියෙකුට එම පනත අදාළ වේ.
ශ්රී ලංකාව තුළ සිදු කරන ක්රියා මෙන්ම ශ්රී ලංකාවේ භෞමික ජල සීමාව, ගුවන් තලය, ශ්රී ලංකාවේ ලියාපදිංචි ගුවන් යානා සහ යාත්රා සම්බන්ධ ක්රියා ද එහි විෂය පථයට ඇතුළත් වේ.
එමෙන්ම, විදේශ රටවල පිහිටි ශ්රී ලංකා රාජ්ය දූත මණ්ඩල, කොන්සල් කාර්යාල සහ ඇතැම් රාජ්ය ආයතනවල පරිශ්ර සම්බන්ධයෙන් සිදුකරන ක්රියා ද පනතට යටත් වන අවස්ථා ලෙස කෙටුම්පතේ දක්වා තිබේ.
ශ්රී ලංකා පුරවැසියෙකුට හෝ ශ්රී ලංකා රාජ්ය දේපළකට එරෙහිව, ශ්රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී සිදුකරන ඇතැම් ක්රියා සම්බන්ධයෙන් ද නීතිමය බලපෑමක් ඇති කිරීමට මෙම පනත් කෙටුම්පත යෝජනා කරයි.
ත්රස්තවාදය ලෙස සැලකෙන ක්රියා
පනත් කෙටුම්පතේ මූලික කරුණක් වන්නේ “ත්රස්තවාදය පිළිබඳ වරද” නිර්වචනය කිරීමයි.
දේශපාලන හෝ මතවාදී අරමුණක් ප්රවර්ධනය කිරීම සඳහා මහජනතාවක් හෝ පුද්ගල කණ්ඩායමක් තුළ බියක් හෝ භීතියක් ඇති කිරීම, හෝ යම් ක්රියාවක් කිරීමට හෝ නොකිරීමට ආණ්ඩුවක් හෝ ජාත්යන්තර සංවිධානයක් වෙත අයුතු බලපෑමක් කිරීමේ අරමුණින්, පනත් කෙටුම්පතේ නිශ්චිතව සඳහන් ප්රතිඵල ඇති කරන ක්රියාවන් සිදු කිරීම ත්රස්තවාදී වරදක් ලෙස සැලකීමට යෝජනා කර තිබේ.
පුද්ගලයෙකුගේ මරණය සිදු කිරීම, බරපතළ තුවාල සිදු කිරීම සහ ප්රාණ ඇපකරුවන් ලෙස පුද්ගලයන් අල්ලා ගැනීම වැනි ජීවිත හා දේපළවලට බලපාන ක්රියා එහිදී විශේෂයෙන් සැලකිල්ලට ගෙන ඇත.
බරපතළ දඬුවම්
පනත් කෙටුම්පත යටතේ ඇති ඇතැම් ත්රස්තවාදී වැරදි සම්බන්ධයෙන් මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීම දක්වා දඬුවම් ලබාදීමට ප්රතිපාදන යෝජනා කර තිබේ.
අනෙකුත් ඇතැම් වැරදි සඳහා වසර 20ක් නොඉක්මවන බරපතළ වැඩ සහිත බන්ධනාගාර දඬුවමක් සහ රුපියල් මිලියන 20ක් නොඉක්මවන දඩයක් නියම කිරීමට ද ප්රතිපාදන ඇතුළත් වේ.
යම් වරදක් සඳහා වෙනත් නීතියක් යටතේ මරණීය දණ්ඩනය නියම කර තිබුණද, මෙම පනත් කෙටුම්පතේ යෝජිත විධිවිධාන යටතේ එය ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීමක් ලෙස සැලකීමට හැකි බව ද සඳහන් වේ.
තැත් කිරීම, අනුබල දීම සහ කුමන්ත්රණය
ත්රස්තවාදී ක්රියාවක් සම්පූර්ණයෙන් සිදු කිරීම පමණක් නොව, එවැනි වරදක් සිදු කිරීමට තැත් කිරීම, අනුබල දීම, කුමන්ත්රණය කිරීම හෝ සූදානම් වීම ද පනත යටතේ වැරදි ලෙස සැලකීමට යෝජනා කර තිබේ.
එවැනි ක්රියාවක ප්රතිඵලයක් ලෙස ත්රස්තවාදී වරද සිදුවී ඇත්නම්, අදාළ ප්රධාන වරද සඳහා නියම කරන දඬුවමටම යටත් කිරීමට හැකි වන අතර, වරද සම්පූර්ණයෙන් සිදු නොවූ අවස්ථාවක වසර 15ක් දක්වා බන්ධනාගාරගත කිරීමක් සහ රුපියල් මිලියන 15ක් දක්වා දඩයක් නියම කළ හැකි බව කෙටුම්පතේ දැක්වේ.
තහනම් සංවිධාන සම්බන්ධයෙන් නව වැරදි
තහනම් කරන ලද සංවිධානයකට සම්බන්ධ වීම, එවැනි සංවිධානයකට පුද්ගලයන් බඳවා ගැනීම, අරමුදල් හෝ මූල්ය සේවා සැපයීම, දේපළ හෝ උපකරණ ලබාදීම, පුහුණුව ලබාදීම සහ වෙනත් ද්රව්යමය ආධාර සැපයීම ද වැරදි ලෙස සැලකීමට යෝජනා කර තිබේ.
එමෙන්ම තහනම් සංවිධානයක කටයුතු සංවිධානය කිරීම, ඒවාට පහසුකම් සැලසීම, සහභාගි වීම හෝ එවැනි සංවිධානයක් මෙහෙයවීම සම්බන්ධයෙන් ද නීතිමය වගකීම් ඇති කිරීමට යෝජනා කර ඇත.
කෙසේ වෙතත්, ද්රව්යමය ආධාර හෝ ක්රියාකාරී සහභාගීත්වයකින් තොරව හුදෙක් යම් මතයක්, විශ්වාසයක් හෝ අනුකම්පාවක් ප්රකාශ කිරීම පමණක් වරදක් නොවන බව පනත් කෙටුම්පතේ සඳහන් වේ.
එසේම, සාමකාමී ලෙස අදහස් ප්රකාශ කිරීමේ, සමාගමයේ සහ රැස්වීමේ නිදහස භුක්ති විඳීම මෙම වගන්තිය යටතේ වරදක් නොවන බව ද එහි දැක්වේ.
ත්රස්තවාදය සඳහා පෙළඹවීම සහ ප්රකාශන
ත්රස්තවාදය සඳහා පුද්ගලයන් පෙළඹවීම, එවැනි පෙළඹවීමේ චේතනාවෙන් හෝ දැනුවත්ව ප්රකාශන පළ කිරීම හා බෙදා හැරීම ද යෝජිත නීතිය යටතේ වැරදි ලෙස දක්වා තිබේ.
කෙසේ වෙතත්, පුවත්පත් කලාව, අධ්යයන හෝ විද්යාත්මක පර්යේෂණ, අධ්යාපනය, කලාත්මක ප්රකාශනය සහ නීත්යනුකූල නඩු කටයුතු සඳහා සද්භාවයෙන් තොරතුරු එකතු කිරීම, සන්තකයේ තබා ගැනීම හෝ ප්රචාරය කිරීම සඳහා මෙම විධිවිධාන අදාළ නොවන බව පනත් කෙටුම්පත සඳහන් කරයි.
මහජන යහපත සඳහා තොරතුරු ප්රචාරය කිරීම සම්බන්ධයෙන් ද විශේෂ ප්රතිපාදන ඇතුළත් කර ඇත.
ත්රස්තවාදය සඳහා පුහුණුව සහ උපදෙස්
ත්රස්තවාදී ක්රියා සඳහා උපදෙස් හෝ පුහුණුව ලබාදීම ද පනත් කෙටුම්පත යටතේ වරදක් ලෙස දක්වා තිබේ.
ගිනි අවි, පුපුරණ ද්රව්ය, රසායනික, ජීව විද්යාත්මක හෝ න්යෂ්ටික ආයුධ භාවිත කිරීම හෝ සකස් කිරීම, එවැනි ක්රියා සඳහා ක්රමවේද හෝ තාක්ෂණික දැනුම ලබාදීම වැනි ක්රියා මෙම ප්රතිපාදන යටතට ගැනීමට යෝජනා කර ඇත.
තොරතුරු ලබා නොදීමත් වරදක්
පනත් කෙටුම්පතේ තවත් වැදගත් ප්රතිපාදනයක් වන්නේ යම් පුද්ගලයෙකු ත්රස්තවාදී වරදක් සිදු කිරීමට සූදානම් වන බව, තැත් කරන බව, අනුබල දෙන බව හෝ කුමන්ත්රණය කරන බව දැන සිටියදී අදාළ තොරතුරු ලබා නොදීමයි.
එමෙන්ම, ත්රස්තවාදයට සම්බන්ධ වරදක් සිදු කළ බව දන්නා පුද්ගලයෙකු සිටින ස්ථානය පිළිබඳ තොරතුරු තිබියදී එය පොලිසියට ලබා නොදීම හෝ අසත්ය හා නොමඟ යවන තොරතුරු ලබාදීම ද වරදක් ලෙස සැලකීමට යෝජනා කර ඇත.
එවැනි වරදකට වසර හතක් දක්වා බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් මිලියන හතක් දක්වා දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කළ හැකිය.
කෙසේ වෙතත්, තොරතුරු ලබා නොදීමට සාධාරණ හේතුවක් තිබූ බව ඔප්පු කිරීම විත්තිවාචකයක් ලෙස භාවිත කළ හැකි අතර, නීතියෙන් ආරක්ෂා කරන ලද රහස්ය තොරතුරු, වෘත්තීය රහස්යභාවයට යටත් තොරතුරු සහ ස්වයං අපරාධරෝපණයට හේතු විය හැකි තොරතුරු එයට ඇතුළත් වේ.
අත්අඩංගුවට ගැනීමේදී සැකකරුට අයිතිවාසිකම්
අත්අඩංගුවට ගැනීමේදී සැකකරුට ලබාදිය යුතු තොරතුරු පිළිබඳව ද පනත් කෙටුම්පතේ විධිවිධාන ඇතුළත් වේ.
ඒ අනුව, අත්අඩංගුවට ගන්නා නිලධාරියාගේ අනන්යතාව, අත්අඩංගුවට ගැනීමට හේතුව සහ නීතියෙන් සලසා ඇති පරිදි නීතිඥවරයෙකු හමුවීමේ අයිතිය පිළිබඳව සැකකරු දැනුවත් කළ යුතුය.
එම තොරතුරු සැකකරුට අවබෝධ වන සිංහල, දෙමළ හෝ ඉංග්රීසි භාෂාවකින් ලබාදීමට සෑම සාධාරණ පියවරක්ම ගත යුතු බව ද කෙටුම්පතේ සඳහන් වේ.
පැය 48ක් ඇතුළත මහේස්ත්රාත්වරයා හමුවට
පනත් කෙටුම්පත අනුව, අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පැය 48ක් ඉක්මවීමට පෙර මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
විමර්ශන සඳහා තවදුරටත් අත්අඩංගුවේ තබා ගැනීම අවශ්ය නම්, ලිඛිතව හේතු දක්වා පැය 24ක් නොඉක්මවන අමතර කාලයක් සඳහා රඳවා තබා ගැනීමට මහේස්ත්රාත්වරයාට බලය ලබාදීමට ද යෝජනා කර ඇත.
අත්අඩංගුවට ගැනීම පිළිබඳව ළඟම ඥාතියෙකුට දැනුම් දීම මෙන්ම, අදාළ අවස්ථාවල ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිස්පතිවරයා හෝ ඔහුගේ බලයලත් නියෝජිතයා දැනුවත් කිරීම සම්බන්ධයෙන් ද ප්රතිපාදන ඇතුළත් වේ.
රඳවා තැබීමේ උපරිම කාලය
පනත් කෙටුම්පත යටතේ සැකකරුවෙකු රඳවා තැබීම සඳහා නියෝගයක් එක්වරකට මාස දෙකක් නොඉක්මවන කාලයක් සඳහා නිකුත් කළ හැකි බව සඳහන් වේ.
එහෙත් මුල් රඳවා තැබීමේ නියෝගය නිකුත් කළ දිනයේ සිට සමස්ත රඳවා තැබීමේ කාලය වසරක් නොඉක්මවිය යුතුය.
මාස දෙකකට වැඩි කාලයක් රඳවා තැබීම අවශ්ය වන අවස්ථාවක, සැකකරු අදාළ නියෝගය සමඟ මහාධිකරණයට ඉදිරිපත් කළ යුතු අතර, රඳවා තැබීම තවදුරටත් දීර්ඝ කිරීම සඳහා නීතිපතිවරයා මගින් මහාධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටිය යුතු බව කෙටුම්පතේ දැක්වේ.
එමෙන්ම රඳවා තැබීමේ නියෝගයක් යටතේ සිටින සැකකරුවෙකු අවම වශයෙන් දින 14කට වරක් මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
මානව හිමිකම් කොමිසමට නිරීක්ෂණ බලතල
රඳවා තැබීමේ ස්ථාන සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද යම් බලතල ලබාදීමට යෝජනා කර තිබේ.
ඒ අනුව, කොමිෂන් සභාවේ බලයලත් නිලධාරියෙකුට පූර්ව දැනුම්දීමකින් තොරව රඳවා තැබීමේ ස්ථාන පරීක්ෂා කිරීමට, රඳවා තැබීමේ ලේඛන සහ වෙනත් අදාළ ලේඛන පරීක්ෂා කිරීමට සහ රඳවා සිටින සැකකරුවන් සමඟ සාකච්ඡා කිරීමට හැකි වේ.
ඇප ලබාදීම
රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෙකු ඇප මත මුදා හැරීමේ බලය මහාධිකරණයට ලබාදීමට ද පනත් කෙටුම්පත යෝජනා කරයි.
කෙසේ වෙතත්, ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් ලැබිය හැකි වරදකට සම්බන්ධ සැකකරුවෙකු ඇප මත මුදා හැරිය හැක්කේ විශේෂ අවස්ථානුගත කරුණු මත පමණක් බව කෙටුම්පතේ සඳහන් වේ.
එමෙන්ම, සැකකරුවෙකු පළමු වරට රිමාන්ඩ් භාරයට පත් කළ දිනයේ සිට වසරකට වැඩි කාලයක් මෙම පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ තබා නොගත යුතු බවට ද යෝජනා කර තිබේ.
ස්වාධීන සමාලෝචන කමිටුවක්
රඳවා තැබීමේ නියෝග සමාලෝචනය කිරීම සඳහා ස්වාධීන සමාලෝචන කමිටුවක් පිහිටුවීමට ද පනත් කෙටුම්පත යෝජනා කරයි.
එම කමිටුව සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර, ශ්රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු එහි සභාපතිවරයා විය යුතු බව සඳහන් වේ.
අනෙක් සාමාජිකයන් දෙදෙනා නීතිය, මානව හිමිකම්, රාජ්ය පරිපාලනය හෝ ජාතික ආරක්ෂාව යන ක්ෂේත්රවල පළපුරුද්ද ඇති පුද්ගලයන් විය යුතු බව කෙටුම්පතේ දැක්වේ.
කමිටුව පත් කිරීමේ බලය අමාත්යවරයා වෙත ලබාදීමට ද යෝජනා කර ඇත.
ඉදිරියේ ඇති විවාදය
PSTA පනත් කෙටුම්පතේ ප්රධාන අරමුණ ලෙස ජාතික ආරක්ෂාව සහ ත්රස්තවාදයට එරෙහි නීතිමය ක්රියාමාර්ග ශක්තිමත් කිරීම ඉදිරිපත් කර තිබුණද, එහි අත්අඩංගුවට ගැනීම්, රඳවා තැබීම්, ප්රකාශන සම්බන්ධ වැරදි සහ තහනම් සංවිධාන සම්බන්ධ විධිවිධාන පිළිබඳව සමාජයේ විවිධ පාර්ශ්වවල අවධානය යොමු වී තිබේ.
විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ පුද්ගල නිදහස, අදහස් ප්රකාශ කිරීමේ අයිතිය හා මානව හිමිකම් ආරක්ෂා කිරීම අතර සමතුලිතතාවය කෙසේ පවත්වා ගන්නේද යන්න පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු හා මහජන විවාදයේදී වැදගත් කරුණක් වනු ඇත.
කෙසේ වෙතත්, මෙය දැනට පනත් කෙටුම්පතක් වන බැවින්, පාර්ලිමේන්තු ක්රියාවලිය අතරතුර එහි විධිවිධාන සංශෝධනය විය හැකිය.
එබැවින් අවසන් වශයෙන් සම්මත වන නීතියේ අන්තර්ගතය පනත් කෙටුම්පතේ වත්මන් අන්තර්ගතයෙන් වෙනස් විය හැකිය.
BBC ඇසුරෙන්