
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අද (13) දින මහනුවර පිහිටි ඓතිහාසික මල්වතු මහා විහාරය වෙත පැමිණ, මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක නාහිමි බැහැදැක ආශීර්වාද ලබා ගත්තා. මෙම හමුවේදී රට මුහුණ දී සිටින වත්මන් ආර්ථික, සමාජීය හා ආයතනික අභියෝග සම්බන්ධයෙන් මහානායක හිමිපාණන් දැනුවත් කිරීමට විපක්ෂ නායකයින් කටයුතු කළ බව සඳහන්. විශේෂයෙන්ම, රටේ පවතින විදේශ විනිමය අර්බුදය සහ ඒ හේතුවෙන් උද්ගත වී ඇති ආර්ථික දුෂ්කරතා, දිනෙන් දින ඉහළ යන අයවැය හිඟය හමුවේ ජනතාව මත පැටවී ඇති බදු බර, අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව සහ නීති ක්ෂේත්රයේ පවතින ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත. තවද, ස්වාභාවික ආපදා හේතුවෙන් හානිවී ඇති පොදු මාර්ග සහ යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය නොවීම නිසා ජනතාව මුහුණ දෙන අපහසුතා මෙන්ම සම්බුද්ධ ශාසනයට හා ආගමික සාරධර්මවලට එල්ල වී ඇති විවිධ බලපෑම් සම්බන්ධයෙන් ද සාකච්ඡා කොට තිබෙනවා. රට යළි නිවැරදි මඟට යොමු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ ජනතාවගේ ජීවන බර අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, මහානායක නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා සහ ආශීර්වාදය ද විපක්ෂ නායකයින් වෙත හිමි වූ බව සඳහන්.