
සිගරට් සිල්ලර මිලෙන් අවම වශයෙන් 75% ක් බදු වලින් සමන්විත විය යුතු බවට කෙරෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශය, දුම්කොළ බදුකරණය සම්බන්ධයෙන් බහුලවම උපුටා දක්වන ගෝලීය මාර්ගෝපදේශයකි.
කෙසේ වෙතත්, Oxford Economics ආයතනය කරන ලද නව අධ්‍යයනයක් මෙම නිර්දේශය ප්‍රශ්න කරමින් ප්‍රධාන කරුණු දෙකක් අවධානයට ලක් කරයි: මෙම ඉලක්කය ඇති වූයේ කෙසේද? එය සාක්ෂ්‍ය මගින් තහවුරු වී තිබේද?
මෙම වාර්තාව දුම්කොළ බදුකරණ ප්‍රතිපත්ති සැකසීමේදී සැලකිල්ලට ගත යුතු විවිධ අරමුණු, ප්‍රමුඛතා සහ ප්‍රායෝගික අවශ්‍යතා පිළිබඳව පුළුල් විමර්ශනයක් ඉදිරිපත් කරයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල දුම්පානය අවම කිරීමේ අරමුණ වැදගත් වුවද, සිගරට් සිල්ලර මිලෙන්, 75% ක් බදු ලෙස අය කිරීමේ ඒකාකාර ඉලක්කය ප්‍රමාණවත් හා ශක්තිමත් ආර්ථික සාක්ෂි මත පදනම් වූ ප්‍රමිතියක් ලෙස සැලකිය නොහැකි බව මෙම වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව, එවැනි පොදු බදු ඉලක්කයක් ප්‍රතිපත්ති සම්පාදකයන්ට සෑම ආර්ථික හා වෙළඳපොළ තත්ත්වයකදීම වඩාත් ඵලදායී මාර්ගෝපදේශයක් නොවන බව ද වාර්තාව සඳහන් කරයි.
මෙම වාර්තාව පෙන්වා දෙන්නේ, මෙම 75%ක බදු ප්‍රතිශතය දැඩි ආර්ථික විශ්ලේෂණයකින් නිශ්චිතව තහවුරු කරන ලද ප්රශස්ත මට්ටමක් නොව , කාලයත් සමඟ ජාත්‍යන්තර මට්ටටින් සාකච්ඡාවට බදුන් වු නිර්දේශයක් බවයි. එහි මූලාරම්භය සොයාගත හැක්කේ සීමිත රටවල් කීපයක බදු ව්‍යුහ පිළිබඳ නිරීක්ෂණයන් තුළින් වන අතර, 75%ක බදු අනුපාතයක් බදු ලෙස අය කිරීම මගින් මහජන සෞඛ්‍ය ප්‍රතිඵල ප්රශස්ත වන බවට හෝ රාජ්‍ය ආදායම සහ සමස්ත ආර්ථික සුබසාධනය වැඩිදියුණු වන බවට සෘජු සාක්ෂි හා ප්‍රමාණවත් ආර්ථික සාක්ෂි නොමැති බවද වාර්තාව සඳහන් කරයි.
මෙම නිර්දේශයේ ආරම්භය 1999 ලෝක බැංකු ප්රකාශනයක් තුල සොයාගත හැකි අතර, එය "ප්රශස්ත (optimal)" බද්දක් හඳුනා ගැනීමට අදහස් කළ එකක් නොවේ. එය හුදෙක් එකල රටවල් ස්වල්පයක පැවති ක්‍රමවේද විස්තර කිරීමක් පමණක් විය.
වාර්තාවෙහි තවදුරටත් නිරීක්ෂණය වන පරිදි, අදටත් ඉලක්කය සපුරා ගන්නේ සාපේක්ෂව රටවල් කිහිපයක් පමණි. 2024 වසරේදී, ලොව පුරා රටවල් 5කින් 1ක් පමණක් 75% සීමාවට ළඟා වූ අතර, ගෝලීය මධ්‍යස්ථ බදු අනුපාතය (සිල්ලර මිලෙන් බදු ලෙස නියෝජනය වන ප්‍රතිශතය) 56%ක් පමණක් විය.
එමෙන්ම, ඉලක්කය සපුරා ඇති රටවල් බොහොමයක් ඉහළ ආදායම් ලබන ආර්ථිකයන් අතරින් විය. ඒ අතරින් බොහොමයක්, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ අයර්ලන්තය ඇතුළුව, දැනටමත් දුම්කොළ බදු ආදායම පහත වැටීමකට මෙන්ම වේගයෙන් වර්ධනය වන නීති විරෝධී වෙළෙඳපොළ ගැටලුවකට මුහුණ දී සිටී.
දකුණු ආසියාතික රටවල් ඇතුළු සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සඳහා, මෙය වැදගත් ප්‍රතිපත්තිමය කරුණක් මතු කරයි. 75%ක බදු අනුපාත ඉලක්කය සපුරා ගැනීමෙන් බදු ආදායම වැඩි කර ගැනීමට හෝ දුම්පානය අනුපාත අඩු කර ගැනීමට උදව් වී ඇත්ද යන්න පැහැදිලි නැති, එසේම ඉහළ ආදායම් ලබන රටවල් ස්වල්පයක් විසින් පමණක් පිළිගෙන ඇති සම්මතයක් (benchmark) පසුපස රජයන් හඹා යා යුතුද?
නැතහොත්, එක් එක් රටේ සාර්ථක වන ක්‍රමවේදයන් පිළිබඳ පර්යේෂණ සාක්ෂි මත බදු ප්‍රතිපත්තිය මෙහෙයවිය යුතු ද?
ගෝලීය අත්දැකීම්
මෙම වාර්තාව සම්ප්‍රදායික උපකල්පන අභියෝගයට ලක් කරන උදාහරණ කිහිපයක් ඉදිරිපත් කරයි.
තුර්කිය සහ බංග්ලාදේශය පිළිවෙළින් 81.5%ක් සහ 73.1%ක් වූ බදු අනුපාත වාර්තා කරන අතර, මේවා ගෝලීය වශයෙන් ඉහළම අගයන් අතරට අයත් වේ. එසේ වුවත්, සිගරට් මිල සාපේක්ෂව පහත මට්ටමක පවතින අතර, පැකට්ටුවකට ඇමරිකානු ඩොලර් 5.82ක් සහ 3.48ක් වේ.
මිලදී ගැනීමේ බල සමානතාව හෙවත් ක්‍රයශක්ති සමානාත්මතාවය (Purchasing Power Parity) පදනම් කරගෙන බලන කල, ලොව අධිකම මිල සිගරට් ඇති රටවල් අතරට නිතර සඳහන් වන ඕස්ට්‍රේලියාවේ බදු අනුපාතය 69.1%ක් පමණක් වුවද, සාමාන්‍ය සිගරට් මිල පැකට්ටුවකට ඇමරිකානු ඩොලර් 26.19ක් ලෙස වාර්තා වේ. ෆීජි දූපත් ඊටත් වඩා කැපී පෙනෙන උදාහරණයක් සපයයි - එහි සාමාන්‍ය සිගරට් මිල පැකට්ටුවකට ඇමරිකානු ඩොලර් 21.81ක් වුවද, බදු අනුපාතය 38.8%ක් පමණි.
Oxford Economics ආයතනයට අනුව, මෙම උදාහරණ මගින් "ඉහළ බදු ප්‍රතිශතයන් අත්‍යවශ්‍යයෙන්ම ඉහළ සිල්ලර මිල ගණන් බවට පත් නොවන බව,” පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව වැනි රටක් සම්බන්ධයෙන් සලකා බැලීමේදී, දුම්කොළ බදු ප්‍රතිපත්තිය මහජන සෞඛ්‍ය අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා පමණක් නොව, රාජ්‍ය ආදායම් අවශ්‍යතා, පාරිභෝගික මිලදී ගැනීමේ හැකියාව සහ නීතිවිරෝධී වෙළඳාම ව්‍යාප්ත වීමේ අවදානම යන කරුණුද මේ හා සමගාමීව සැලකිල්ලට ගනිමින් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ . මෙම පසුබිම තුළ, Oxford Economics වාර්තාවේ නිගමන පෙන්වා දෙන්නේ දුම්කොළ බදුකරණය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වඩාත් පුළුල්, සමබර සහ යථාර්ථවාදී ප්‍රතිපත්තිමය ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කමයි. ඒ අනුව, සියලු රටවලට පොදුවේ අදාළ වන එකම ගෝලීය බදු ප්‍රතිශතයක් අනුගමනය කිරීම වෙනුවට, එක් එක් රටේ ආර්ථික, සමාජීය හා වෙළඳපොළ යථාර්ථයන් සැලකිල්ලට ගනිමින් දේශීය තත්ත්වයන්ට ගැළපෙන බදු ප්‍රතිපත්තියක් සකස් කිරීම වඩාත් ඵලදායී හා තිරසාර ප්‍රවේශයක් විය හැකි බව වාර්තාවේ පෙන්වා දෙයි.
වාර්තාව අවසානයේ අවධාරණය කරන්නේ, 75%ක බදු අනුපාතයක් ළඟා කර ගැනීම පමණක් දුම්කොළ බදු ප්රතිපත්තියක සාර්ථකත්වය මැනීමේ ප්‍රධාන දර්ශකය ලෙස සැලකීම ප්‍රමාණවත් නොවන බවයි. ඒ වෙනුවට, ප්රතිපත්තියක සැබෑ සාර්ථකත්වය ඇගයීමේදී ස්ථාවර හා තිරසාර රාජ්‍ය බදු ආදායමක් සහතික කිරීම සහ එක් එක් රටෙහි ආර්ථික, සමාජීය හා වෙළඳපොළ යථාර්ථයන්ට අනුකූල, ඵලදායී දුම්කොළ පාලන ප්‍රතිඵල අත්කර ගැනීම වැනි පුළුල් ප්‍රතිපත්තිමය ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කළ යුතු බව එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.
මනෝජ් විජේසිංහ