
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා සම්බන්ධයෙන් තම අධිකරණයට මෙතෙක් කරුණු වාර්තා කර නැතැයි කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා අද (04) සුරෙෂ් සලෙයි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට දැනුම් දුන්නා.
සිය සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන ගොස් ඔහුගේ ජීවිතයට හානියක් කිරීමේ උත්සාහයක් ඇති බවට සැක කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බැවින් අධිකරණයේ නිසි අවසරයකින් තොරව ඔහු ඉන් පිටතට රැගෙන යාම වළක්වාලමින් නියෝගයක් කරන්නයි සැකකාර සුරේෂ් සලෙයි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් මගින් නඩුව කැඳවමින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම සිය සේවා දායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට එල්ල කරන චෝදනා
සනාථ කිරීමට තරම් කරුණු නොමැතිව බව පෙනී යන බැවින් අත්අඩංගුවට ගැනීම හා
නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම අභියෝගයට ලක්කරමින් සුදුසු නීතිමය පියවර
ගැනීමට අපේක්ෂා කරන බැවින් මෙම අධිකරණය හමුවේ ගොනුකර නීති කෘත්‍යයේ
සම්පූර්ණ පිටපතක් ලබා දෙන ලෙසද නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර
මහෙස්ත්‍රාත්වරයා එකි නඩුවේ සම්පූර්ණ සහතික පිටපතක් විත්තියේ නීතිඥවරුන්ට
ලබා දෙන ලෙසටද නියෝග කළා.
සැකකාර සුරෙෂ් සලෙයි මහතාගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට බදාදා දිනය ලබා
දී ඇති බවද එහිදී අධිකරණයට පෙන්වා දුන් විත්තියේ නීතිඥවරුන් එම දිනයට
අමතරව තවත් දිනයක් ලබා දෙන ලෙසට හා සැකකරුට ඔහුගේ නිවසින් ආහාර
ලබාදීමට ඉඩ දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්නයිද ඉල්ලා සිටියා.
රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කළ සිය සේවාදායකයා වෙත යාමට ඔහුගේ පුතාට
ප්‍රවේශය ලබාදෙන ලෙසට ද සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එහිදී අධිකරණයෙන්
ඉල්ලීමක් කරනු ලැබුවා.
මේ දක්වා එකී සැකකරු සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමක් සිදුකර නොමැති බැවින්
එකී ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන්
මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු නිවසට රැගෙන ගොස් නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව ඔහුගේ භාර්යාවට පවසා ඇති බවත් එලෙස නිවස පරීක්ෂා කිරීමට සෝදිසි වරෙන්තුවක් තිබේදැයි ඔහුගේ බිරිඳ විමසා ඇති බවත් අධිකරණයට පෙන්වා දුන් සැකකරුගේ නීතිඥවරුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිවසක් පරීක්ෂා කිරීමට සෝදිසි වරෙන්තු අනවශ්‍ය බව පවසා නිවස පරීක්ෂා කොට ඇතැයි ද සඳහන් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම නිවසට ඇතුළු වී එම නිවස සම්පූර්ණයෙන්ම පරික්ෂා කොට ඇත්තේ කිසිදු කාන්තා පොලිස් නිලධාරණියකගේ සහභාගිත්වය නොමැතිව බවද නීතිඥවරුන් වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියා.