
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු වේලාවකට පෙර පිලිපීනයේ මැනිලා අගනුවරට පැමිණ ඇති අතර, අනතුරුව ඔහු ඔස්ට්‍රේලියාව, ජපානය සහ ඉන්දියාව යන රටවල නායකයන් හමුවීමට නියමිතය. මෙම රටවල් හතරේ එකතුව ‘ක්වාඩ්’ (Quad) ලෙස හැඳින්වේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ ජපාන අග්‍රාමාත්‍ය සානේ තකයිචි එක්ව සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව සිව්පාර්ශ්වික සමුළුව පැවැත්වීමට නියමිතය.

මේ අතර, ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ යාමෙන් පිලිපීන ජනතාවට ද දැඩි ආර්ථික පීඩනයකට මුහුණදීමට සිදුව තිබේ. පිලිපීනය සිය තෙල් අවශ්‍යතාවයෙන් සියයට 98ක් පමණ ගල්ෆ් කලාපයෙන් ආනයනය කිරීම මෙම තත්ත්වය තවදුරටත් බරපතළ කර ඇත.
ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම හමුවේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ ලොව පළමු රට බවට පිලිපීනය පත්විය. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ උද්ධමනය ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එම තත්ත්වය රටේ දැනටමත් පවතින ආර්ථික පසුබෑම තවදුරටත් උග්‍ර කර තිබේ.
මෙවැනි පසුබිමක් තුළ අමෙරිකානු ජනාධිපතිවරයාගේ පිලිපීන සංචාරයට විරෝධය පළ කරමින් මැනිලා අගනුවරදී විරෝධතා පැවැත්වීමට විරෝධතාකරුවෝ සූදානම් වෙති. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව සිය විරෝධය පළ කිරීම ද එහි අරමුණකි.
එමෙන්ම, අමෙරිකාව ප්රමුඛ ‘පැක්ස් සිලිකා’ (Pax Silica) නමැති කෘත්‍රිම බුද්ධි (AI) සහ තාක්ෂණික සහයෝගීතා වැඩපිළිවෙළට පිලිපීනය එක්වීම සම්බන්ධයෙන් ද විරෝධතාකරුවන් සිය විරෝධය පළ කිරීමට නියමිතය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ මිත්‍ර රටවල් සහ විශ්වාසදායක හවුල්කරුවන් අතර නව ආර්ථික ආරක්ෂක එකඟතාවක් ගොඩනැගීමයි.
කෙසේ වෙතත්, මෙම වැඩපිළිවෙළ යටතේ පිලිපීනයේ අගනුවරට උතුරින් පිහිටි කෘෂිකාර්මික ඉඩම්වල දත්ත මධ්‍යස්ථාන (Data Centres) ඉදිකිරීමේ සැලසුම් සම්බන්ධයෙන් එරට ජනතාව අතර දැඩි කනස්සල්ලක් මතුව තිබේ.
එම දත්ත මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සඳහා ජලය විශාල ප්‍රමාණයක් වැය වනු ඇතැයි ද, ඒ හේතුවෙන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල සම්පත් හිඟ වීමේ අවදානමක් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති. තවද, එම ඉදිකිරීම් හේතුවෙන් ගොවීන්ට සිය වගාබිම් අහිමි වීමත්, ආදිවාසී ජන කණ්ඩායම්වලට සිය සාම්ප්‍රදායික වාසභූමිවලින් ඉවත් වීමට සිදුවීමත් පිළිබඳව ජනතාව දැඩි අවධානය යොමු කර ඇත.
ඒ අනුව, ට්‍රම්ප්ගේ මෙම සංචාරය සහ ක්වාඩ් සමුළුව පැවැත්වෙන අතරතුර පිලිපීනය තුළ ඉන්ධන අර්බුදය, ආර්ථික පීඩනය සහ අමෙරිකානු තාක්ෂණික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පවතින ජනතා විරෝධය ද ප්‍රබල ලෙස ඉස්මතු වනු ඇත.